ජල ගාස්තු තීරණය කිරීමට හා පවතින තත්ත්වයන්ට අනුකූලව හෝ කාලානුරූපව ජල ගාස්තු සංශෝධනය කිරීමට 2024 වර්ෂය වන තෙක් ප්‍රතිපත්තියක් සකස් කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
මේ බව සඳහන්ව ඇත්තේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 2022 සැප්තැම්බර් සිට 2024 අගෝස්තු දක්වා ක්‍රියාත්මක කරන ලද ජල ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් පිළියෙල කරන විශේෂ විගණන වාර්තාවේය. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආරම්භ කර 2024 වර්ෂය වන විට වර්ෂ 49ක කාලයක් ඉක්මවා ගොස් තිබුණ බවද එම වාර්තාවේ දැක්වේ.
නමුත් එවැනි ප්රතිපත්තියකින් තොරව 1990 වර්ෂයේ සිට අවස්ථා 17දී විවිධ මිල ගණන් යටතේ ජල ගාස්තු සංශෝධනය කිරීමට මණ්ඩලය පියවර ගෙන තිබේ. එයින් 2022 සහ 2023 වර්ෂවල සිදුකරන ලද ජල ගාස්තු සංශෝධනය රටේ පැවති ආර්ථීක අර්බුදයෙන් පීඩාවට පත්ව සිටි ජල පාරිභෝගිකයන් මහත් අපහසුතාවට පත්වන සේ අසාමාන්‍ය ලෙස ගාස්තු ඉහළ දමන ලද සංශෝධනයක් වී තිබුණු බවද ජාතික විගණන කාර්යාලයට නිරීක්ෂණය වී ඇත.

