අනුරාධපුර බාලවයස්කාර දැරිය බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ සිදුවීමට අදාළ විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පැවැත්වූ රැස්වීමක් වාර්තා කිරීමේ සිද්ධියකට අදාළව, බී.බී.සී. සිංහල සේවයේ මාධ්‍යවේදීන් 23 වෙනිදා දහවල් 2.00ට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇත.
පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති අදාළ අපයෝජන චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගිය ජූනි 05 වනදා මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්වී තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යනු නිල ව්‍යවස්ථාපිත කාරක සභාවක් නොවන පසුබිමක, මෙලෙස මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම හරහා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බලපෑම් එල්ල වන බවට මාධ්‍ය සංවිධාන ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පවසා තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය ගැන දෙසූ ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත
ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිදභාවය සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳව වේදිකා මත උදම් අනන ආණ්ඩුව සහ එහි මන්ත්‍රීවරුන්ගේ මෙවැනි දෙබිඩි ක්‍රියාකලාපයන් අතිශයින්ම හෙළා දැකිය යුතුය. මන්ත්‍රීවරියන්ගේ සංසදය වැනි නිල නොවන සංසදයක් හරහා රාජ්‍ය නිලධාරීන් ගෙන්වා ගනිමින්, තොරතුරු ජනතාවගෙන් සඟවා තැබීමට සහ ඒවා වාර්තා කළ ස්වාධීන මාධ්‍යවේදීන්ට එරෙහිව වරප්‍රසාද කමිටුව බලපෑම් කිරීමට උත්සාහ කිරීම පැහැදිලිවම බලය අනිසි ලෙස භාවිත කිරීමකි. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට වැට බඳිමින්, විවේචනාත්මක හඬවල් මර්දනය කිරීමට දරන මෙවැනි වෑයම්වලින් පෙන්නුම් කරන්නේ බලයට පත්වූ පසු පෙර පැවති ආණ්ඩු අනුගමනය කළ ඒකාධිපති හා අත්තනෝමතික මාවතේම ගමන් කිරීමට මොවුන්ද කටයුතු කරන බවයි.
– whatnews

