දකුණු ආසියාවේ දිගම වාරි උමග අද (15) ජනතා අයිතියට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් වෙයි.
දශක හයකට ආසන්න කාලයක් සැලසුම් කළ මහවැලි මහ සැලැස්මේ ප්‍රධාන අදියරක් වන උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු කිලෝමීටර් 27.7ක් දිග මෙම යෝධ වාරි උමග දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමග ලෙස සැලකේ.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
මහමීගස්වැව සහ කොදුරුවාව ප්‍රදේශවලින් නවීන Tunnel Boring Machine (TBM) යන්ත්‍ර දෙකක් භාවිත කර එකවර ආරම්භ කළ කැණීම් කටයුතු අද පොළොව යටදී එකිනෙක හමුවීමත් සමඟ සාර්ථකව අවසන් විය. ඉංජිනේරු ක්ෂේත්‍රයේ මෙම අවස්ථාව Tunnel Breakthrough ලෙස හඳුන්වයි.
කිලෝමීටර් 240කට ආසන්න දිගකින් යුත් උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය මඟින් මහා වාරි පද්ධති 12ක් සහ එල්ලංගා පද්ධති 130කට අයත් වැව් 1,505කට ජලය සැපයීමට නියමිත අතර, පවුල් 25,000කට සෘජු ප්‍රතිලාභ හිමිවෙයි. එමෙන්ම හෙක්ටයාර 74,000ක වගාබිම් යල හා මහ කන්න දෙකේදීම අස්වැද්දීමට අවශ්‍ය ජලය ලබාදීමටද මෙම ව්‍යාපෘතියෙන් හැකියාව ලැබේ.
රජරට ප්‍රදේශයේ හඳුනා නොගත් වකුගඩු රෝගය අවම කිරීමේ අරමුණින් පිරිසිදු පානීය ජලය සැපයීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කයකි. ඒ අනුව වසරකට ජල ඝන මීටර් මිලියන 70ක් මුදාහැරමින් මිලියන 1.5කට ආසන්න ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට සැලසුම් කර තිබේ.

