Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රසායනික ද්‍රව්‍ය අධීක්ෂණයට අති නවීන රසායනාගාර උපකරණ ශ්‍රී ලංකාවට

මෙරට රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අධීක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අති නවීන විශ්ලේෂණාත්මක රසායනාගාර උපකරණ

මෙරට රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අධීක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අති නවීන විශ්ලේෂණාත්මක රසායනාගාර උපකරණ

ජාතික පාරිසරික සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍යය ඉහළ නැංවීම වෙනුවෙන් සුවිශේෂී පියවරක් තබමින්, මෙරට රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අධීක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා වන අති නවීන විශ්ලේෂණාත්මක රසායනාගාර උපකරණ නිල වශයෙන් පිරිනැමීම අද (13) පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

මෙම උසස් තාක්ෂණික පරීක්ෂණ උපකරණ සපයනු ලැබුවේ, “ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ආශ්‍රිත ස්ථිර කාබනික දූෂක (POPs) කෘමිනාශක සහ සෞඛ්‍ය අංශය ආශ්‍රිත රසදිය හා අපද්‍රව්‍ය ඒකාබද්ධ කළමනාකරණය සහ පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම” නම් වූ ජාතික ව්‍යාපෘතිය යටතේය. ගෝලීය පාරිසරික පහසුකම (Global Environment Facility – GEF) මඟින් ලබා දුන් අමෙරිකානු ඩොලර් 5,040,000ක ප්‍රදානයක් සහ අමෙරිකානු ඩොලර් 33,157,800ක සම-මූල්‍යකරණ (Co-financing) දායකත්වයක් සහිතව ක්‍රියාත්මක වන මෙම පස් අවුරුදු (2024-2029) දැවැන්ත මුලපිරීම, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) තාක්ෂණික සහාය ඇතිව පරිසර අමාත්‍යාංශය විසින් ජාතික ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය (National Implementation Modality – NIM) යටතේ මෙහෙයවනු ලබයි.

මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රධාන ජාතික පාරිසරික අභියෝග දෙකක් ඉලක්ක කරනු ලබන අතර පළමුවැන්න, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ භාවිත වන අනතුරුදායක රසායනික ද්‍රව්‍ය නිරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමත්. දෙවැන්න, මිනමාටා සම්මුතියට (Minamata Convention) අනුකූලව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ රසදිය අඩංගු වෛද්‍ය උපකරණ භාවිතයෙන් බැහැර වීම කඩිනම් කිරීම සහ අක්‍රමවත් වෛද්‍ය අපද්‍රව්‍ය දහනය හේතුවෙන් නොදැනුවත්ව ජනනය වන ස්ථිර කාබනික දූෂක (U-POPs) පාලනය සඳහා ආරක්ෂිත තාක්ෂණයන් හඳුන්වා දීමයි.

මෙහිදී අදාළ ප්‍රතිලාභී ආයතන වෙත නිල වශයෙන් උපකරණ භාරදීම සහ අවබෝධතා ගිවිසුම් (MoUs) අත්සන් කිරීම සිදු කෙරුණු අතර, උසස් උපකරණවල දිගුකාලීන ක්‍රියාකාරීත්වය සහ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් සකස් කළ ‘තාක්ෂණික හා මූල්‍ය තිරසාර යාන්ත්‍රණය’ පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීමක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු සැලසුම් මධ්‍යස්ථානයේ (Engineering Design Centre) මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මහතා විසින් සිදු කරන ලදී.

Exit mobile version