ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 1ක වන්දියක් ගෙවන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කොළඹ වාණිජ මහාධිකරණය 2019 වසරේ දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) ස්ථිර කළේය.
විමල් වීරවංශ මහතා විසින් ඔහුගේ නමින් ප්‍රකාශයට පත් කළ “නැත්ත වෙනුවට ඇත්ත” යන ග්‍රන්ථය මගින් බුද්ධිමය දේපළ පනත යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් ටිල්වින් සිල්වා මහතා ගොනු කර තිබූ නඩුවක තීන්දුව ලබාදෙමින් අධිකරණය විසින් ඊයේ (09) මෙම නියෝගය ලබාදුන්නේය.
විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී තමා විසින් පක්ෂ විධායක මණ්ඩලයට ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් කර විමල් වීරවංශ මහතා ‘නැත්ත වෙනුවට ඇත්ත‘ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇති බව ටිල්වින් සිල්වා මහතා අධිකරණයට ප්‍රකාශ කර තිබුණි.
විමල් වීරවංශ මහතා 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමෙන් පසු “නැත්ත වෙනුවට ඇත්ත”නමින් පොතක් ලියා 2008 ජුනි මාසයේ දී ප්‍රකාශයට පත්කළේය.
දීර්ඝ නඩු කාලයක් විභාගය කළ කොළඹ වාණිජ මහාධිකරණය බුද්ධිමය දේපළ පනත යටතේ “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයේ සැබෑ අයිතිය හිමිවිය යුත්තේ විමල් වීරවංශට නොව ටිල්වින් සිල්වා මහතාට බව 2019 වසරේ ජනවාරි 11 වැනිදා තීන්දුව ලබාදෙමින් ප්‍රකාශයට පත්කළේය.
ඒ අනුව ටිල්වින් සිල්වාට රුපියල් මිලියන 1ක වන්දියක් ගෙවන ලෙසත් විමල් වීරවංශ මහතාට වාණිජ මහාධිකරණය නියෝග කළේය.
එම නියෝගයට එරෙහිව විමල් වීරවංශ මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අතර එහි තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු සෝභිත රාජකරුණා මහතා අද ප්‍රකාශයට පත්කළේය.

