හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉයර්ෆෝන් (Earphones) පැලඳ සංගීතයට සවන් දෙමින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා පැවසීය.
මේවා පැලඳ සංගීතයට සවන් දෙමින් මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් පදිකයන් අනතුරට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින බවත්, මේ ආකාරයෙන් ගමන් ගන්නා පදිකයන්ට දැනට අවවාද කිරීම් පමණක් සිදු කළද ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 10 දෙනකුට වඩා මියයන අතර, 2026 වසරේ ජනවාරි 01දා සිට ජූනි 30 දක්වා සිදුවූ රථවාහන අනතුරු 1,323කින් පුද්ගලයන් 1,389 දෙනකු මරණයට පත්ව ඇති බවද මනෝජ් රණගල මහතා පැවසුවේය.
2025 වසරට සාපේක්ෂව මෙම වසරේදී අනතුරු සංඛ්‍යාව 105කින් ද, මරණ සංඛ්‍යාව 107කින්ද ඉහළ ගොස් තිබීම දැඩි කනස්සල්ලට කරුණක් බව පැවසූ හෙතෙම, මෙම අනතුරුවලින් වැඩි වශයෙන්ම විපතට පත්වන්නේ පදිකයන් සහ පාපැදිකරුවන් බවද කීවේය. අනවධානය, අපරික්ෂාකාරී බව, මාර්ග නීති උල්ලංඝනය කිරීම සහ අධික වේගය මෙන්ම වාහනවල සහ මාර්ගවල පවතින දුර්වල නඩත්තුවද මෙම අනතුරු සඳහා ඍජුවම බලපාන බව හෙතෙම පෙන්වා දුන්නේය.
11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය ජූලි 6 සිට 10 දක්වා පැවැත්වීම නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
අනතුරු අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ මෙහෙයුම් සහ නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දී ඇත. අධික වේගයෙන් ධාවනය කරන වාහන හඳුනාගැනීම සඳහා කිලෝමීටර තුනක දුරක් ආවරණය කළ හැකි නවීන වේගමාපක අමෙරිකා එක්සත් ජනපදයෙන් ගෙන්වා දැනටමත් ක්‍රියාත්මක කර තිබේ.
නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු පුද්ගලයකුගේ තරාතිරමක් නොබලන බවත්, මාර්ගයේදී යම් අනතුරක් සිදු වුවහොත් අනිවාර්යයෙන්ම අදාළ පුද්ගලයන් අධිකරණයට යොමු කරන බවත් ඔහු තරයේ අවධාරණය කරයි.
ඉදිරියේදී මාර්ග නීති තදින් ක්‍රියාත්මක කර දැඩි දඬුවම් ලබා දීමටත්, රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමටත් කටයුතු කෙරෙනු ඇත. රියැදුරන්ගේ සහයෝගය නොමැති නම් මෙම ව්‍යසනය නැවැත්වීම සඳහා නීතිය දැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව රණගල මහතා කියා සිටියේය. මීට සමගාමීව පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ‘ටේක් කෙයාර්’ (Take Care) නමින් විශේෂ වැඩසටහනක් ද මේ වන විට ආරම්භ කර ඇත.

