Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ

යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ

යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ

යාපනය සහ පලාලි ප්‍රදේශවල ආරක්ෂක අංශ දැනට භාවිත කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා තිබේ.

ඒ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

ඉඩම් සම්බන්ධ ගැටලු පිළිබඳ මීට පෙර පවත්වන ලද සාකච්ඡාවල අඛණ්ඩ පියවරක් ලෙස මෙම සාකච්ඡාව පවත්වා ඇති බවද සඳහන්.

මෙහිදී වත්මන් ප්‍රගතිය සමාලෝචනය කර ඇති අතර ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා රජය දරන උත්සාහයන් කඩිනම් කිරීම, සමාජීය මෙන්ම ආර්ථිකමය වර්ධනයට සහාය වීම සහ කලාපීය පරිපාලන යාන්ත්‍රණයන් සමඟ සම්බන්ධීකරණයෙන් යටිතල පහසුකම් සංවර්ධනය විධිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මෙම මුලපිරීම් ජාතික සංහිඳියා ක්‍රියාවලියට නැවත පදිංචි කිරීම් සඳහා වැදගත් පියවරක් ලෙසද සැලකේ.

එමෙන්ම සාකච්ඡාව අතරතුර, සීමා නිර්ණයන් අවසන් කිරීම, වන්දි ගෙවීමේ ක්‍රියාවලින් කඩිනම් කිරීම සහ හඳුනාගත් ඉඩම් කොටස් ඒවායේ නීත්‍යානුකූල අයිතිකරුවන්ට නැවත පැවරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි විශේෂ අවධානය යොමුව ඇත.

එහිදී රැස්වීම ඇමතූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, පසුගිය මාසයේ යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන ස්ථාන කිහිපයක සිදු කළ ක්ෂේත්‍ර සංචාරයේදී නිරීක්ෂණය වූ කරුණු පැහැදිලි කර ඇති අතර, එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුව ඇත්තේ දැනට ආරක්ෂක අංශ භාවිතයේ පවතින ඉඩම පිළිබඳවය.

පවතින අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට සහ අදාළ සියලුම ආයතන අතර ඵලදායී සම්බන්ධීකරණයක් සහතික කරමින් මෙම ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කිරීම සඳහා ප්‍රායෝගික පියවර හඳුනා ගැනීමටද අදාළ රාජ්‍ය පාර්ශ්වකරුවන්ට මෙම රැස්වීමේදී අවස්ථාව ලැබී ඇත.

එමෙන්ම අදාළ ඉඩම් නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත නිදහස් කිරීම ජාතික ආරක්ෂක මණ්ඩලය මඟින් අවසන් කිරීමටද එකඟතාවය පළ වී ඇත.

මෙම රැස්වීම සඳහා ආරක්‍ෂක ලේකම්, යුද සහ ගුවන් හමුදාපතිවරුන්, යාපනය දිස්ත්‍රික් ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

Exit mobile version