තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) විසින් ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාවට නංවමින්, ප්‍රාන්තයේ රජයේ රෝහල්වල උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක් ලබාදීමේ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ඒ අනුව, තමිල්නාඩු රජය බලයට පත්ව දින 43ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙම ‘රන් මුදු ව්‍යාපෘතිය’ සඳහා වන නිල ගැසට් නිවේදනය නිකුත් කිරීමට මහ ඇමතිවරයා පියවර ගෙන ඇත.
‘තායිමාමන්’ ලෙසින් හැඳින්වෙන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ තමිල්නාඩුවේ රජයේ රෝහල්වල උපදින සෑම දරුවෙකුටම ග්‍රෑම් එකක් බරැති රන් මුදුවක් පිරිනැමීමට නියමිතය.
මෙහිදී රජයේ රෝහල්වල උපදින දරුවන් සංඛ්‍යාව මෙන්ම ඔවුන් පිරිමි හෝ ගැහැණු දරුවන්ද යන්න කිසිදු භේදයකින් තොරව සෑම දරුවෙකුටම මෙම රන් මුදුව හිමිවීම විශේෂත්වයකි.
මෙම සුභසාධන ව්‍යාපෘතිය සඳහා තමිල්නාඩු රජය විසින් වසරකට ඉන්දීය රුපියල් කෝටි 755.83ක මුදලක් වැය කිරීමට තීරණය කර ඇත.
බෙදාහැරීමේ පහසුව තකා මෙම රන් මුදු රජයේ රෝහල්වලම සුරක්ෂිතව ගබඩා කර තැබීමට කටයුතු යොදා තිබේ.
මෙම ව්‍යාපෘතිය තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ ‘CM අන්නාදුරේ’ මහතාගේ උපන්දිනය යෙදෙන සැප්තැම්බර් 15 වනදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
කෙසේ නමුත් පසුගිය ජුනි 22 වැනිදාට යෙදුණු ප්‍රධාන අමාත්‍ය විජේ මහතාගේ උපන්දිනයේ සිට රජයේ රෝහල්වල උපත ලැබූ සියලුම දරුවන්ට මෙම රන් මුදු ව්‍යාපෘතියේ ප්‍රතිලාභ හිමිවන බව තමිල්නාඩු ප්‍රාන්ත රජය වැඩිදුරටත් සඳහන් කරයි.

