Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රස්ත පනත ඉදිරි මාස කිහිපය ඇතුළතදී මුළුමනින්ම අහෝසි කරනවා – ජනාධිපති අනුර

ත්‍රස්ත පනත ඉදිරි මාස කිහිපය ඇතුළතදී මුළුමනින්ම අහෝසි කරනවා – ජනාධිපති අනුර

ත්‍රස්ත පනත ඉදිරි මාස කිහිපය ඇතුළතදී මුළුමනින්ම අහෝසි කරනවා – ජනාධිපති අනුර

වසර 46ක් පුරා මෙරට ක්‍රියාත්මක වූ මර්දනකාරී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරි මාස කිහිපය ඇතුළතදී මුළුමනින්ම අහෝසි කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා සඳහන් කළේ, පැරණි පනත වෙනුවට මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපරිමයෙන් සුරක්ෂිත වන අයුරින් සකස් කළ නව පනත් කෙටුම්පතක් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

1979 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුලින්ම මෙරටට හඳුන්වා දුන්නේ වසරක කාලයකට පමණක් බලපැවැත්වෙන තාවකාලික විශේෂ විධිවිධාන පනතක් ලෙස වුවද, පසුගිය වසර 46ක් පුරාම එය මෙරට බලාත්මකව පැවති බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.

ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ නිදහස සහ මානව අයිතිවාසිකම් අගය කරන ජනතාව මෙම පනත අහෝසි කරන ලෙස ඉල්ලා දීර්ඝ කාලයක් තිස්සේ අරගල කළ බව පැවසූ ජනාධිපතිවරයා, වත්මන් රජය එම ඉල්ලීමට නිසි ගරුත්වයක් ලබා දෙමින් එය අහෝසි කිරීමට අදාළ අවසන් සාකච්ඡාද පවත්වා අවසන් කර ඇති බවද සඳහන් කළා.

පැරණි පනත තුළ ත්‍රස්තවාදය යන්න ඉතා පුළුල් පරාසයකින් අර්ථකථනය කර තිබූ බැවින්, පාලකයින්ට තමන් සමඟ එකඟ නොවන විරුද්ධවාදීන් දේශපාලනිකව දඩයම් කිරීමට එමඟින් ප්‍රතිපාදන සලසා ගත හැකිව තිබූ බව ජනාධිපතිවරයා පවසයි.

මේ අතර පසුගිය පාලන සමයේදී මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් සම්මත කළ ඔන්ලයින් සේෆ්ටි පනත පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, පනතක් සම්මත කර ඊළඟ සතියේම ඊට, සංශෝධන කැබිනට් මණ්ඩලයට දැමූ විහිළුසහගත ඉතිහාසයක් පසුගිය රජයට තිබූ බවයි.

ජනතා අයිතීන් උල්ලංඝනය වන පරිදි පවතින එම පනත ක්‍රියාත්මක කිරීම වත්මන් රජය විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ඒ වෙනුවට එම පනත මුළුමනින්ම සංශෝධනය කර නව පනතක් ඉදිරිපත් කිරීම සඳහා පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී නිල අනුමැතිය ලබාගත් බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

Exit mobile version