අපනයනකරුවන්ට ලැබෙන විදේශ විනිමය ආදායම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව කෙටි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දිනක (09) පාර්ලිමේන්තුවේදී රැස් වූ කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.
එහිදී මහ බැංකු නිලධාරීන් සඳහන් කර ඇත්තේ විනිමය අනුපාතිකයේ සහ විදේශ විනිමය වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය මෙන්ම විදේශ විනිමය ද්‍රවශීලතා හිඟය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.
මෙම තීරණය විනිමය අනුපාතිකයේ අස්ථාවරත්වය පාලනය කිරීම සහ විදේශ විනිමය සැපයුම වැඩිදියුණු කිරීම සඳහා ගත් කෙටිකාලීන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක් බවත්, වෙළෙඳපොළ තත්ත්වයන් ස්ථාවර වූ පසු එය ලිහිල් කරන බවත් මහ බැංකු නිලධාරීන් පැවසූහ.
කෙසේ වෙතත්, මෙම පියවර හේතුවෙන් වෙළෙඳපොළ විශ්වාසය අඩුවීම සහ විදේශ විනිමය වෙළෙඳපොළේ අස්ථාවරත්වය වැඩිවීමේ අවදානමක් ඇති විය හැකි බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 ජුනි 09 දින නිකුත් කළ අංක 2492/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ “2026 අංක 2 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” සඳහාද කාරක සභාව අනුමැතිය ලබා දී ඇත.
නව රීති අනුව, ඕනෑම මාසයකදී අපනයන ආදායම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා භාණ්ඩ අපනයනකරුවන් එම මුදල් අවසර ලද ගෙවීම් සඳහා පමණක් භාවිත කළ යුතු අතර, ඉතිරි මුදල එළඹෙන මාසයේ 10 වන දිනට පෙර හෝ එදින ශ්‍රී ලංකා රුපියල් බවට අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතු වේ.
මීට පෙර 2024 වසරේ හඳුන්වා දුන් රෙගුලාසි අනුව ලබා දී තිබූ මාස 3ක කාල සීමාව මෙලෙස එළඹෙන මාසයේ 10 වන දින දක්වා අඩු කර තිබේ.

