Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩෙංගු මර්දන වැඩසටහනින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,268ක්

තෙදින ඩෙංගු මර්දන වැඩසටහනින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,268ක් හඳුනාගනී

තෙදින ඩෙංගු මර්දන වැඩසටහනින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,268ක් හඳුනාගනී

තෙදිනක් පුරා පැවැති විශේෂ ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනේදී ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,268ක් හඳුනාගෙන තිබේ.

පසුගිය 08 වැනිදා ආරම්භ වූ මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72ක් ආවරණය කරමින් ක්‍රියාත්මක විය.

එහිදී පරීක්ෂාවට ලක්කළ පරිශ්‍ර 97,871ක් අතරින් පරිශ්‍ර 6,268ක ඩෙංගු මදුරු කීටයන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය ඊයේ(11) නිකුත්කළ වාර්තාවට අනුව, පරීක්ෂාවට ලක්කළ පරිශ්‍රවලින් 25,626ක් හෙවත් සියයට 26.2ක් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් පරිශ්‍ර ලෙස හඳුනාගෙන ඇත.

එමෙන්ම පරිශ්‍ර 6,268ක හෙවත් සියයට 6.4ක ඩෙංගු මදුරු කීටයන් සිටින බව තහවුරු වී තිබේ.

වාර්තාවේ දැක්වෙන්නේ කර්මාන්තශාලා සහ ඉදිකිරීම් බිම් ආශ්‍රිතව වැඩිම ඩෙංගු මදුරු කීට ප්‍රතිශතයක් වාර්තා වී ඇති බවයි.

පරීක්ෂාවට ලක්කළ කර්මාන්තශාලා පරිශ්‍රවලින් සියයට 32.9ක සහ ඉදිකිරීම් බිම්වලින් සියයට 21.8ක මදුරු කීටයන් හඳුනාගෙන ඇත.

මේ අතර නිවාස 89,417ක් පරීක්ෂා කිරීමේදී නිවාස 5,250ක මදුරු කීටයන් සිටින බව සොයාගෙන තිබේ.

මදුරුවන් බෝවන ලෙස පවත්වාගෙන ගිය පරිශ්‍ර 21,025ක් එම අවස්ථාවේදීම පිරිසිදු කිරීමට පියවර ගෙන ඇති අතර, නීතිමය උපදෙස් ඇතුළත් රතු නිවේදන 3,348ක් නිකුත් කර ඇත.

තවද සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කළ පරිශ්‍ර හිමියන් 2,401 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කර තිබේ.

මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්වී ගෙයින් ගෙට ගොස් පරිශ්‍ර පරීක්ෂා කිරීම, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීම, රතු නිවේදන නිකුත් කිරීම සහ ධූමායන කටයුතු සිදු කර තිබේ.

විශේෂ මදුරු මර්දන වැඩසටහන්වලට පමණක් සීමා නොවී තම නිවස සහ අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට වගකීමෙන් කටයුතු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Exit mobile version