ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රුපියල් කෝටි 990 (අමෙරිකානු ඩොලර් මිලියන 30)ක ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉන්දීය ආයෝජකයන් පිරිසක් එකඟතාව පළකර තිබේ.
චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ගනේෂනාදන් ගීතිස්වරන් මහතාගේ මැදිහත්වීමෙන්, ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවරින් පැමිණි විශේෂ දූත පිරිසක් මෙරට සංචාරයක නිරතවන අතර එම කණ්ඩායම මේ සම්බන්ධයෙන් කැමැත්ත පළකර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම සංචාරය අතරතුර, දූත පිරිස ශ්‍රී ලංකාවේ වෙෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව හා සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති ආචාර්ය මධුර සෙනෙවිරත්න මහත්වරු ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.
මෙම සාකච්ඡාවලදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන අතර ශ්‍රී ලංකාව තුළ ආයෝජන සහයෝගිතාව සඳහා ඇති මාර්ග ගවේෂණය කිරීම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හා ආයෝජන වටපිටාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සහ අනාගත හවුල්කාරිත්වයන් සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර හඳුනාගැනීම ඒ අතර වෙයි.
මෙහි දී ඉන්දීය දූත පිරිස ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර, ඉදිරි ව්‍යාපෘති ඇගයීම්වලට යටත්ව, ආසන්න වශයෙන් අෙමරිකානු ඩොලර් මිලියන 30ක විභව ආයෝජන කැපවීමක් පිළිබඳ ඉඟිකර ඇත.
ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන විභවතාවන් සහ දැනට ක්‍රියාත්මක ආර්ථික සංවර්ධන මුලපිරීම් පිළිබඳ ඉන්දීය ආයෝජකයන් දැනුවත් කිරීම මෙම සංවාදයේ අරමුණ වී තිබෙන අතර මෙම ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර වඩාත් සමීප සහයෝගිතාවක් වර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරේ.

