ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, නවසීලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඊයේ(28) විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
විදේශ අමාත්‍යවරයාගේ නවසීලන්ත නිල සංචාරයට සමගාමීව පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය Rt. Hon. වින්ස්ටන් පීටර්ස් (Winston Peters) මහතාද විශේෂ ආරාධිතයෙකු ලෙස එක්විය.
දෙරටේ සංස්කෘතික සම්ප්‍රදායන්ට අනුව, ශ්‍රී ලාංකීය ආගමික වතාවත් සහ නවසීලන්තයේ සාම්ප්‍රදායික ‘මාවෝරි’ (Māori) ආශිර්වාදයනද සමග සමාරම්භක උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.
එහිදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතාවල නව පරිච්ඡේදයක ආරම්භයක් සනිටුහන් කරන බවයි.
මෙම අවස්ථාවට නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නවසීලන්තයේ වෙසෙන විදේශීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මෙන්ම එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය.
නව මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම තුළින් නවසීලන්තයේ වෙසෙන 30000කට අධික ශ්‍රී ලාංකිකයින්ට වඩාත් කාර්යක්ෂම කොන්සියුලර් සේවාවක් සැපයීමටත්, දෙරට අතර වෙළඳ, අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත්‍රයන් ප්‍රවර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරේ.

