Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, දඩ මුදල නොගෙවීම; ස්ථාවරය පැවසිමට අල්ලස් කොමිසමට දින දේ

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, දඩ මුදල නොගෙවීම; ස්ථාවරය කියන්න අල්ලස් කොමිසමට දින දෙයි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, දඩ මුදල නොගෙවීම; ස්ථාවරය කියන්න අල්ලස් කොමිසමට දින දෙයි

කන්තලේ සීනි සමාගම් අල්ලස් නඩුවට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ කුසුමදාස මහානාමට නියම කර ඇති රුපියල් මිලියන 20ක අතිරේක දණ්ඩන මුදල අය කර ගැනීම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සිය ස්ථාවරය සති දෙකක් ඇතුළත දැනුම් දෙන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.

ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

2018 වසරේදී කන්තලේ සීනි සමාගමට අයත් ගොඩනැගිලි සහ යන්ත්‍ර සූත්‍ර ඉන්දියානු සමාගමකට පවරා දීම සඳහා රුපියල් මිලියන 54ක අල්ලසක් ලබා ගැනීමේ වරදට කුසුමදාස මහානාම මහතා දැනටමත් සිර දඬුවම් විඳිමින් සිටී. සිර දඬුවමට අමතරව ඔහුට රුපියල් මිලියන 20ක දණ්ඩන මුදලක් ගෙවන ලෙසද අධිකරණය නියම කර තිබුණි.

මෙම නඩුකරයේදී මතු වූ ප්‍රධාන නීතිමය ගැටලුව වන්නේ විත්තිකරුට නියම කළ රුපියල් මිලියන 20ක දණ්ඩන මුදල අය කරගැනීමේ ක්‍රමවේදයයි.

අදාළ දණ්ඩන මුදල ගෙවීමට තමන්ට වත්කමක් නොමැති බව විත්තිකරු බන්ධනාගාර බලධාරීන් වෙත දැනුම් දී ඇති අතර, ඒ පිළිබඳව බන්ධනාගාරය කළ විමසීමකට පිළිතුරු දෙමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ මුල් තීන්දුව ප්‍රකාශ කිරීමේදී දඩය නොගෙවන්නේ නම් ඒ වෙනුවට පැනවිය යුතු අමතර සිර දඬුවමක් පිළිබඳව එහි සඳහන් කර නොමැති බවයි.

එවැනි සඳහනක් මුල් තීන්දුවේ නොමැති පසුබිමක, දඩය නොගෙවීම වෙනුවෙන් අමතර සිර දඬුවම් නියම කිරීමට තම අධිකරණයට මේ අවස්ථාවේදී නීතිමය බලයක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා, මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සිය ස්ථාවරය දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.

– whatnews

Exit mobile version