අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා ලෝක වෙළෙඳපොළට අහිමි වූ බොරතෙල් ප්‍රමාණය බැරල් මිලියන 500කට අධික බව ලෝක ප්‍රකට කේප්ලර් වෙළෙඳ බුද්ධි තොරතුරු සමාගමේ දත්ත සංඛ්‍යාලේඛන මඟින් තහවුරු වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 50කට අධික බවද වාර්තා වේ.
යුද්ධයේ පළමු දින 50 ඇතුළත ගෝලීය වශයෙන් ගුවන් සේවා සමාගම් සඳහා වන ඉන්ධන සැලකිය යුතු ආකාරයෙන් සීමා වී ඇතැයිද කේප්ලර් වෙළෙඳ බුද්ධි තොරතුරු සමාගමේ දත්තවලින් පෙන්නුම් කරන බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
මෑත ඉතිහාසයේ විශාලතම බලශක්ති අර්බුදය මෙය බවත්, ලෝක බොරතෙල් වෙළෙඳපොළ නැවත යථා තත්ත්වයට පැමිණීමට වසරකට ආසන්න කාලයක් ගතවනු ඇති බවත් ලෝක බලශක්ති විශ්ලේෂකයන් අනාවැකි පළ කර තිබේ.
මාර්තු මාසයේදී පමණක් ගල්ෆ් කලාපයේ රටවලට දිනකට බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 8කින් පහත වැටී ඇති අතර, සවුදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ලොව විශාලතම බොරතෙල් සමාගම් දෙකක් ඇතුළුව කුවේට්, බහරේන් සහ ඕමානයෙන් අපනයනය කරන ජෙට් ඉන්ධන ප්‍රමාණය පෙබරවාරි මාසයේදී බැරල් මිලියන 19.6ක් වූ බවත්, එය මාර්තු සහ අප්‍රේල් මාසය වන විට බැරල් මිලියන 4.1 දක්වා පහත වැටී ඇති බවත් කේප්ලර් දත්තවලින් පෙන්වා දී තිබේ.
කුවේට් සහ ඉරාකයේ බරින් වැඩි බොරතෙල් නිධි නැවත සාමාන්‍ය මෙහෙයුම් මට්ටම දක්වා පැමිණිමට මාස 4ක් හෝ 5ක් ගතවනු ඇති බවත්, කටාර් රාජ්‍යයේ රස් ලෆාන් ගෑස් නිධියට හානි සිදුවීම හේතුවෙන් කලාපීය බලශක්ති සැපයුම් ජාලය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට වසර ගණනාවක් ගතවනු ඇති බවත් කේපලර් දත්ත වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

