මියන්මාරයේ නව ජනාධිපතිවරයා ලෙස එරට හිටපු හමුදා පාලක ජෙනරාල් මින් අවුංග් ලියැංග් එරට පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් තෝරා පත්කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසර 2021 දී එවකට හිටපු නායිකා අවුන් සාන් සුකී නෙරපා හමුදා කුමන්ත්රණයකින් මියන්මාරයේ බලය අත්පත් කරගත් 69 හැවිරිදි හමුදා නායකයා පාර්ලිමේන්තුවේ ඡන්ද 584කින් හමුදා හිතවාදී ඡන්ද 429ක් ලබා ගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඔහු නියෝජනය කළ යූඑස්ඩීපී පක්ෂයේ සෙසු අපේක්ෂකයන් දෙදෙනා වූ නියෝ සෝ සහ නැන් නී නී ආයේ පිළිවෙළින් ඡන්ද 126ක් සහ 29ක් ලබා ඇති අතර, ඔවුන් උප ජනාධිපතිවරුන් ලෙස පත් වූ බවද වාර්තා වේ. නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් හමුදා නායක මින් අවුංග් පසුව ජාතිය අමතා ප්‍රකාශ කර ඇත්තේ මියන්මාරය ප්රජාතන්ත්රවාදයේ මාවතට නැවත පැමිණ ඇති බවය. වඩා යහපත් අනාගතයක් කරා රට ගමන් කරමින් තිබෙන බවද ඔහු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ප්රජාතන්ත්රවාදී ඡන්දයකින් බලයට පත්වූ අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයන් සිරගත කර, පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් හමුදා පාලනයක් ගෙන ගිය මින් අවුංග් ලියැංග් සිය ජයග්‍රහණය සඳහා සියලු ප්‍රතිවාදී පක්ෂවලට ඡන්දයට ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමි කර තිබූ බව ජාත්‍යන්තර මානව හිමිකම් සම්මේලනය සහ කලාපීය මානව හිමිකම් සංවිධාන චෝදනා කර ඇතැයිද වාර්තා වේ.

