ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තුව 20%කින් ඉහළ නැංවීමට බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. පවතින ආර්ථික වටපිටාව හමුවේ ආනයන හා අපනයන කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් කොළඹ වරාය නියෝජනය කරන සියලු සංගම් ඒකාබද්ධව මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පෙන්වා දුන්නේ භාණ්ඩ නිෂ්කාශන ප්‍රමාදය සහ ඉන්ධන පෝලිම් හේතුවෙන් ප්‍රවාහන සේවාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.
“මේ මිල වැඩි කිරීම නොකර ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන සේවාව කරගෙන යාමේ හැකියාවක් නැහැ මොකද මේ වෙනකොටත් දැඩි අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා ආනයනික භාණ්ඩ නිෂ්කාශනය ප්‍රමාදයත් එක්ක. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ආනයනික භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදය ඉතා ඉක්මනින් කඩිනමින් විසඳීමට කටයුතු කරන්න. මොකද මෙහි වැඩිපුර අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවීමත් සහ ඉන්ධන අපතේ යාමත් සිදුවෙනවා දිගු පෝලිම්වල රැඳී සිටීමත් නිසා”
මේ අතර, ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ඉනාම් කෆූර් මහතාද අදහස් දක්වමින් පැවසුවේ බහාලුම් ප්‍රවාහන ගාස්තුවලට අමතරව ප්‍රමාද ගාස්තුද ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ඉනාම් කෆූර් මහතා,
“අපි ගණනය කරලා බැලුවොත් සාමාන්‍යයෙන් බහලුම් ප්‍රවාහන රථයකට රුපියල් 25,000ක් වැනි කුළියක් අයකරනවා කොළඹ අවට ඩිලිවරිවලට. දැන් වැඩිවීමක් ගත්තානම් අපි දැන් ප්‍රමාද ගාස්තු ගෙවනවා ලොරියට රුපියල් 15,000ක්. ඒවගේ පස් ගුණයක් ඒ කියන්නේ 75,000ක් ප්‍රමාද ගාස්තු හැටියට අය වෙනවා. ඒකත් එක්කම අර 25,000 කුළියත් අය වෙනවා. දැන් 30%ක් වැනි මුදලකින් ඩීසල් වැඩි වෙලා තියෙනවා මේ වැඩි කිරීම එක්ක බැලුවාම 400%කින් වගේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වරායේ තියන බහාලුම් ටික නිෂ්කාශනය කරගන්න දවස් 4-5ක් විතර යනවා. දවසින් කරන්න පුළුවන් කුළිය දවස් 5ක් විතර ගියාම ඒ කුළී රථ හිමිකරුවාට අලාභයක් වෙනවා. දැන් අපි යන්නේ නිවාඩු මාසයකට ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ ඉතා ඉක්මනින් නිෂ්කාශනය කරලා ජනතාවට ලබා දෙන්න. ලංකාවට එන භාණ්ඩ ප්‍රමාදයක් නැතිව ජනතාවට භුක්ති විඳින්න අපි අවස්ථාව සලසලා දෙන්න ඕනේ”

