Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝමා තත්ත්වයෙන් සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

කෝමා තත්ත්වයෙන් සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

කෝමා තත්ත්වයෙන් සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

අනතුරකින් මොළයට සිදු වූ හානියක් හේතුවෙන් වසර 10කට වැඩි කායක් කෝමා තත්ත්වයෙන් රෝහල්ගතව ජීවිත ආධාරක පද්ධතිය ආධාරයෙන් ජීවත් වූ 31 හැවිරිදි තරුණයෙකුගේ එම ජීවිත ආධාරක පද්ධති ඉවත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දී ඇත.

ඉන්දියාවේ අධිකරණයක් විසින් ‘Passive Euthanasia’ සඳහා අවසර දුන් පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.

Passive Euthanasia යනු වෛද්‍ය උපදෙස් මත ජීවිතාරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර ඉවත් කිරීමයි. එයින් සුවය ලැබීමට අවස්ථාවක් නොමැති මාරාන්තික රෝගියෙකුට ස්වාභාවික මරණයක් සිදු වීමට ඉඩ සලසයි.

හරිෂ් රාණා නැමති මෙම තරුණයා 2013 වසරේදී ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් ඇද වැටී මොළයට සිදු වූ බරපතළ හානි හේතුවෙන් එතැන් පටන් පසුවූයේ කෝමා තත්ත්වයෙනි.

ඔහුට ආහාර ගැනීමට හෝ දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි වූ අතර, කෘත්‍රිම නළ මාර්ගයෙන් ආහාර ලබා දෙමින් ජීවිතය පවත්වාගෙන ගොස් තිබුණි.

වසර ගණනාවක් පුරා ඔහුගේ දෙමාපියන් සිය පුතුට ගෞරවාන්විතව මිය යාමට ඉඩ දෙන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

තම සියලු ඉතිරිකිරීම් පුතුගේ ප්‍රතිකාර සඳහා වැය කර ඇති බවත්, තමන්ගෙන් පසු ඔහුට කුමක් සිදුවේද යන්න පිළිබඳව දැඩි බියක් පවතින බවත් ඔවුහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, වෛද්‍ය මණ්ඩල දෙකක් විසින් ඉදිරිපත් කළ වාර්තා සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ.

එම වාර්තා වල සඳහන් වී ඇත්තේ ඔහුගේ මොළයට ස්ථිර ලෙස හානි සිදුව ඇති බවත් නැවත යථා තත්ත්වයට පත්වීමට ඇති අවස්ථාව ඉතා අවම බවත් සහ ඔහුගේ පෙනීම, ඇසීම හෝ කිසිවෙකු හඳුනාගැනීමේ හැකියාව ද නොමැති බවය.

මෙම තීන්දුවත් සමඟ, අදාළ වෛද්‍ය මණ්ඩලවලට රෝගියාගේ ජීවිත ආධාරක පද්ධති ඉවත් කිරීම පිළිබඳ සායනික තීරණයක් ගැනීමට දැන් නීතිමය අවසරය හිමිව ඇත.

Exit mobile version