නව අභිනව නිවහල් පෙරමුණේ නායක අමිත් වීරසිංහට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
නව අභිනව නිවහල් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කිරීම වළක්වමිනුයි ඔහුට එරෙහින මෙලෙස වාරණ නියෝගයක් නිකුත් වන්නේ.
පිළිගත් දේශපාලන පක්ෂයක් වන නව අභිනව නිවහල් පෙරමුණේ අභ්‍යන්තර පරිපාලනය සහ නායකත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති ඕෂල හේරත් මහතා විසින් පවරන ලද නඩුවක් සලකා බැලූ කැස්බෑව දිසා අධිකරණය, පැමිණිලිකරු ඉල්ලා සිටි වාරණ නියෝග නිකුත් කීරීමට කටයුතු කර තිබෙනවා.
2026 මාර්තු 1 වන දින පක්ෂයේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීම සඳහා 2026 පෙබරවාරි 12වන දින පවත්වන ලදැයි කියනු ලබන විධායක සභා රැස්වීමක නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් මෙම නඩුව පවරා තිබුණා.
අදාළ රැස්වීම පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව කැඳවා නොමැති බවත්, එහිදී සම්මත වූ කිසිදු යෝජනාවක් ව්‍යවස්ථානුකූල නොවන අතර ඒවා ශුන්‍ය සහ බලරහිත වන බවත් පැමිණිලිකරු තර්ක කර තිබෙනවා.
පැමිණිලිකරු වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, ඉල්ලා සිටි අතුරු සහන ලබා දීමට තීරණය කළා.
ඒ අනුව, 2026 මාර්තු 1වන දින පැවැත්වීමට නියමිත රැස්වීම වැළැක්වීම, පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව විධායක සභාවක් පැවැත්වීමෙන් වත්මන් පක්ෂ නායකයා සහ ලේකම්වරයා වැළැක්වීම සහ අමිත් වීරසිංහ මහතා පක්ෂ නායකයා ලෙස පෙනී සිටිමින් මහජනයා නොමඟ යැවීම වැළැක්වීමේ වාරණ නියෝග නිකුත් කරන ලදී.
නීතිඥ සඳුනි පූර්ණිමා රත්නායක මහත්මියගේ උපදෙස් මත නීතිඥ නවීන් මහාආරච්චිගේ සහ කේත්මිණි හසරා යන මහත්ම මහත්මීන් පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටියා. නඩුවේ වැඩිදුර කටයුතු 2026 මාර්තු 13 වන දිනට නියමිතයි.

