Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නතාශාට සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපතිගේ කණගාටුව

නතාශාට සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපතිගේ කණගාටුව

නතාශාට සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපතිගේ කණගාටුව

සිවිල් ක්‍රියාකාරිනියක සහ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය මෙනවිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම් එම් යූ සුබසිංහ මහතා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී නතාශා එදිරිසූරිය මෙනවියට ලිඛිතවම කණගාටුව පලකළේය.

එසේම මෙම පනත යටතේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිදුවීම වැලැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන්ට චක්‍රලේඛයකින් උපදෙස් මාලාවක් නිකුත් කිරීමටද කටයුතු කරන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එම චක්‍රලේඛය සති දෙකක් තුළ නිකුත් කරන බවත්, පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය එම මාර්ගෝපදේශ පරීක්ෂා කර බලා ඊට එකඟත්වය පල කළ බවත් නීතිපතිපදෙපාර්තම්න්තුව දැනුම් දුන්නේය.

තමන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාශා එදිරිසූරිය මෙනවිය ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව (19) අගවිනිසුරු පී පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙලෙස කණගාටුව පලකිරීමත්, පොලිස් චක්‍රලේඛය නිකුත් කිරීම ගැනත් දැනුම්දීම සිදුවිය.

ඒ අනුව අදාල පොලිස්පති චක්‍රලේඛය නිකත් කර සති දෙකක් ඇතුළත මෝසමක් මගින් අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ අධිකරණය ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමටද නියෝග කළේය.

නතාෂා එදිරිසුරිය මෙනවිය අද විවෘත අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර නඩු කටයුතු මෙලෙස අවසන් කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරු පී පද්මන් සූරසේන මහතා නතාශා මෙනවිය අමතමින් අධිකරණය එය අගයකිරීමට ලක් කරන බව සඳහන් කළේය.

“අත්අඩංගුවට ගත් නිලධාරියා ලෙස, සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, 2023 මැයි මස 27වන දින සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම සහ ඒ හේතුවෙන් 2023 ජූලි මස 5වන දින දක්වා ඔබ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සම්බන්ධයෙන් මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි. එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔබගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදුවූ හානිය මෙන්ම ඔබට ඇති වූ මානසික හා චිත්තවේගීය පීඩාවන් සම්බන්ධයෙන්ද මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.” යනුවෙන් කණගාටුව පල කිරීමේ ලිපියේ ඉංග්‍රීසි බසින් සඳහන් විය.

Exit mobile version