Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රනිල්, මෛත්‍රී, ජනපති සහ නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

රනිල්, මෛත්‍රී, ජනපති සහ නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

රනිල්, මෛත්‍රී, ජනපති සහ නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

සැත්කම් මඟින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛ අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව, වත්මන් ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන ශාන්ත ජයතිලක විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, වත්මන් ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

පෙත්සම්කරු පෙන්වාදෙන්නේ, ජීව විද්‍යාත්මක පදනමෙන් බැහැරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට නීතිමය අවසරයක් නැති බවයි.

2016 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයක් මඟින්, මනෝ වෛද්‍ය නිර්දේශ මත ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට ඉඩ ලබාදීම නීතිවිරෝධී බව ඔහු පවසනවා.

මෙවැනි ලිංගික වෙනස් වීමකට භාජනය වන අයට නව උප්පැන්න සහතික සහ හැඳුනුම්පත් නිකුත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව පෙන්වාදුන් පෙත්සම්කරු චෝදනා කරන්නේ, මේ ආකාරයෙන් සිය කැමැත්ත පරිදි ලිංගික අනන්‍යතා වෙනස්කම් සිදු කිරීම හරහා සමලිංගික විවාහ සඳහා වක්‍රව මඟ පෑදෙන බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

මෙම ක්‍රියාවලිය මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, ජීව විද්‍යාත්මක පදනමකින් බැහැරව සිය අභිලාෂය පරිදි සැත්කම් මඟින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට අනුමැතිය දෙමින් නිකුත් කර තිබෙන අදාළ සියලු චක්‍රලේඛ බලරහිත කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව, ජූලි මස 20 වැනිදා මෙම පෙත්සම සලකා බැලීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, සතියක් ඇතුළත වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම්දුන්නා.

Exit mobile version