වසර 10කට පෙර පැවති සරල මතකයන් යළි අවදි කරමින් මේ වනවිට ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර “2026 is the New 2016” (2026 යනු අලුත් 2016 වේ) යන තේමාව යටතේ දැවැන්ත රැල්ලක් නිර්මාණය වී තිබේ.
TikTok, Instagram සහ Facebook වැනි සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යන මෙම රැල්ලට සාමාන්‍ය පරිශීලකයින් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ පුද්ගලයින් ද විශාල වශයෙන් මේ සඳහා එක්ව සිටිති.
මොකක්ද මේ 2016 රැල්ල?
2016 වසරේ භාවිතා කළ ‘Snapchat’ ෆිල්ටර්, එකල ජනප්‍රිය වූ ‘Skinny Jeans’ විලාසිතා සහ ‘The Chainsmokers’, ‘Drake’ වැනි ගායකයින්ගේ පැරණි ගීත යොදා ගනිමින් බොහෝ දෙනා තම මතකයන් යළි සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම මෙහිදී සිදුවේ. විශේෂයෙන්ම AI (කෘත්‍රිම බුද්ධිය) මගින් නිර්මාණය කළ අසත්‍ය තොරතුරු සහ අධික ලෙස සංස්කරණය (Hyper-edited) කරන ලද වීඩියෝවලින් හෙම්බත් වී සිටින පරිශීලකයින්, වසර දහයකට පෙර පැවති සරල සහ වඩාත් සැබෑ (Authentic) මතකයන් වෙත ඇදී යාම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.
මෙහි ඇති අවදානම කුමක්ද?
කෙසේ වෙතත්, මෙම විනෝදජනක රැල්ල පිටුපස බරපතළ තාක්ෂණික අවදානමක් පවතින බව විදෙස් විශේෂඥයෝ පෙන්වා දෙති. ඔබ 2016 වසරේ ඡායාරූපයක් සහ වර්තමාන (2026) ඡායාරූපයක් එකට පළ කිරීම හරහා AI සමාගම්වලට විශාල ‘දත්ත නිධානයක්’ (Data Goldmine) ලැබෙන බව ඔවුන්ගේ අදහසයි.
වයස්ගත වීම හඳුනාගැනීම: වසර 10ක කාලයක් තුළ මිනිස් මුහුණක් වෙනස් වන ආකාරය පිළිබඳ දත්ත ලබා ගැනීමට AI සමාගම් මෙම ඡායාරූප යොදා ගනී.
Deepfakes අවදානම: ඔබේ පැරණි සහ අලුත් දත්ත ලබා ගැනීමෙන් වඩාත් නිවැරදි ලෙස පුද්ගල අනන්‍යතාවය අනුකරණය කළ හැකි (Deepfakes) තාක්ෂණයන් දියුණු කිරීමට මෙය රුකුලක් විය හැකිය.
පෞද්ගලිකත්වය: සමාජ ඉංජිනේරු විද්‍යාව (Social Engineering) හරහා හැකර්වරුන්ට ඔබේ පෞද්ගලික තොරතුරු සහ රහස් ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට මෙම ‘throwback’ ඡායාරූප මග පාදයි.
සමාජ මාධ්‍ය විශේෂඥයින් පවසන්නේ ඕනෑම රැල්ලකට එක්වීමට පෙර තම පෞද්ගලික දත්තවල ආරක්ෂාව පිළිබඳව දෙවරක් සිතා බැලීම වැදගත් බවයි.
– newsfirst

