2026-2030 කාලසීමාව සඳහා වන මිනිස් ජාවාරම නිරීක්ෂණය කිරීම සහ වැළැක්වීමේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම නිල වශයෙන් දියත් කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) කොළඹදී පැවැත්වුණා.
මෙම උත්සවය ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය (NAHTTF) සහ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) ඒකාබද්ධව සංවිධානය කර තිබුණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ නායකත්වය සහ IOM හි තාක්ෂණික සහාය ඇතිව සකස් කරන ලද මෙම පස් අවුරුදු සැලැස්මෙහි ප්‍රධාන අරමුණ වන්නේ, මිනිස් ජාවාරම වැළැක්වීම, වින්දිතයන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සහාය වීම, නීතිය ක්‍රියාත්මක කිරීම සහ වගවීම සහතික කිරීම සඳහා ඒකාබද්ධ ජාතික රාමුවක් ස්ථාපිත කිරීමයි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, මිනිස් ජාවාරම මැඩලීමේ ජාතික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජය උපරිමයෙන් කැපවී සිටින බව අවධාරණය කළාය.
ජාත්‍යන්තරව පිළිගත් වැළැක්වීම (Prevention), ආරක්ෂාව (Protection), නඩු පැවරීම (Prosecution) සහ හවුල්කාරිත්වය (Partnership) යන ප්‍රධාන කුළුණු හතර පදනම් කරගනිමින් මෙම සැලැස්ම සකස් කර තිබීම කාලෝචිත බව ද සඳහන් කළා.
මෙම අවස්ථාවට නීතිපති පාරින්ද රණසිංහ මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ NAHTTF සභාපති එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ IOM ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ (Kristin Parco) මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ ආයතන, සිවිල් සංවිධාන සහ රජයේ ආයතන 23ක් නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වුණා.

