Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අම්බුළුවාව පාරිසරික කලාපයේ ගැටලුව විමසීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා

අම්බුළුවාව ගැන හොයන්න විශේෂඥ කමිටුවක්

අම්බුළුවාව ගැන හොයන්න විශේෂඥ කමිටුවක්

අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතු වී ඇති ගැටලුකාරි තත්ව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පරිසර අමාත්‍යංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා වී තිබේ.

ඒ අම්බුළුවාව පාරිසරික කලාපයේ සිදු වූ නායයෑම් පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යෙව්දී තරිඳු ජයවර්ධන මහතා ඇතුළු තරුණ ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකරුවන් පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින පෙරවරුවේ ගරු පරිසර අමාත්‍යතුමා හමුවී සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ගරු පරිසර අමාත්‍යතුමා විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් ලබා දෙමින් පවසා සිටියේ මෙම පාරිසරික සංවේදී කලාපයේ පාරිසරික සංරක්ෂණයට අදාළ කොටස පිළිබඳ සැළකිලිමත් වෙමින් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ගරු පරිසර අමාත්‍යතුමාගේ උපදේශක පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා විසින් මෙම තත්වය සම්බන්ධව නිසි අධ්‍යනයක් සිදු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී තිබෙනවා.

අම්බුළුවාව පාරිසරික කලාපයේ සිදු වූ නායයෑම් පිළිබඳ මාධ්‍ය වාර්තා සහ සෙසු පරීක්ෂණ වාර්තා අධ්‍යයනයෙන් පසු ජනතාවගේ ආරක්ෂාව මූලිකව සලකමින් අම්බුළුවාව කන්දට අදාළ තීරණ ගැනීමට පසුබට නොවන බවද ගරු පරිසර අමාත්‍යතුමා මෙහි දී අවධාරණය කර තිබෙන බවයි සඳහන් වන්නේ.

පරිසර අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන් සහ මේ පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කිරීමටද ඉදිරි දින කිහිපයේ දී කටයුතු කෙරෙන බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.

Exit mobile version