Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එන්නත විසවී මැරුණු කතගේ සැමියාගෙන් පැමිණිල්ලක්

එන්නත විසවී මැරුණු කතගේ සැමියාගෙන් පැමිණිල්ලක්

එන්නත විසවී මැරුණු කතගේ සැමියාගෙන් පැමිණිල්ලක්

‘ඔන්ඩන්සෙට්‍රෝන් නමැති එන්නත ලබා දීමෙන් පසුව අයි.ඩී.එච් (IDH) රෝහලේදී සිය බිරිඳ මියයාම සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා ඇයගේ සැමියා වන චානක මධුසංක මහතා ඇතුළු පිරිසක් ඊයේ දිනයේ(26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

මිය ගිය කාන්තාවගේ සැමියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඩෙංගු රෝගය වැළඳී රෝහල් ගත කරන විට සිය බිරිඳට වෙනත් කිසිදු මරණීය රෝගාබාධයක් නොතිබූ බවයි.

මියගිය බිරිඳට සිදුවූ අසාධාරණය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර, ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කරන බව ඒ මහතා එහිදී සඳහන් කලේය.

මියගිය බිරිඳට යුක්තිය ඉෂ්ට කර ගැනීම මිස මෙහි කිසිදු දේශපාලන අරමුණක් හෝ දේශපාලන මැදිහත්වීමක් නොමැති බවද ඔහු එහිදී පවසයි.

“මම අද CID ආවේ මගේ බිරිඳට සිදුවුන දේ ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලන්න. සෞඛ්‍ය ඇමතිතුමාත් පිළිගත්තා මේ මියගිය දෙන්නාටම රෝහල් ගත කරනකොට මරණීය ලක්ෂණ තිබුණේ නැහැ කියලා. මගේ එකම අරමුණ මගේ බිරිඳට සාධාරණයක් ඉටු කරන එක සහ මේ වගේ විනාශයක් තව කෙනෙක්ට නොවෙන්න වැඩ කරන එකයි,”

ඔහු සමඟ පැමිණි තවත් පුද්ගලයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වත්මන් රජය සහ ඉන්දියාව අතර පවතින ඖෂධ ගිවිසුම් පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කලේය.

ඉන්දියාව සමඟ ඇති කරගත් ඖෂධ ගිවිසුම රජය හෙළි නොකරන බවත්, ඉන්දියාවේ රසායනාගාරවල අනුමත වන ඕනෑම ඖෂධයක් ලංකාවේ පරීක්ෂණවලින් තොරව ගෙන්වීමට එහි ප්‍රතිපාදන ඇති බවත් ඔහු පෙන්වා දේ.

ඉන්දියාවේ පරීක්ෂණ සාර්ථක වුවද, ශ්‍රී ලංකා භූමිය තුළ නිසි රසායනාගාර පරීක්ෂණ පවත්වා අනුමැතිය ලැබෙන තෙක් රෝගීන්ට ඖෂධ ලබා නොදිය යුතු බව ඔහු අවධාරණය කළා.

එමෙන්ම අතුරුගිරිය සහ මතුගම ප්‍රදේශවල සිදු වූ මරණවලින් පසුව වුවද මෙම ඖෂධය භාවිතය නැවැත්වීමට රජය පියවර නොගත් බවත්, මීට පෙර හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකු වූ කෙහෙළිය රඹූක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාර ගත වූවා සේම වත්මන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද සිරගත කළ යුතු බව ඒ මහතා පවසනවා.

මියගිය අයගේ සැමියා සහ එම පුද්ගලයා චෝදනා කරන්නේ මරණය පිළිබඳ පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට යාමේදී තවමත් කාලය ඉල්ලා සිටින බවයි.

මිනිසුන් රෝහල්වලට යන්නේ මරණ බියෙන් තොරව ප්‍රතිකාර ගැනීමට මිස ඖෂධ නිසා මියයාමට නොවන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

යහපත් පාලනයක් පිළිබඳ පොරොන්දු දුන් රජය, ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කැබිනට් මට්ටමින් වහාම තීන්දුවක් ගත යුතු බව ඔවුන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

Exit mobile version