ආපදා තත්ත්වය හමුවේ Rebuilding Sri Lanka නමින් අරමුදලක් ආරම්භ කර ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කළද, පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එවැනි අරමුදල් ගොඩනැගිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා බදාදා (03) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 2026 වසර සඳහා වන අයවැයට අදාල කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කළා.
හර්ෂද සිල්වා මෙහිදී අවධාරණය කර සිටියේ, පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එවැනි අරමුදල් ගොඩනැගීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ආපදා කළමනාකරණයට සහාය දීමට සූදානම්, නමුත් නීතියට අනුකූලව කටයුතු සිදු විය යුතු බවයි.
මෙම අරමුදල ගොඩ නැගීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියට පටහැනි ක්‍රියාවක් බව සඳහන් කරමින් හර්ෂ ද සිල්වා මෙහිදී ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියට අනුව රටට ලැබෙන සියලුම ආදායම් සහ රට දරන සියලුම වියදම් පිළිබඳව පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවයි.
ඒ අනුව රට විසින් වියදම් කරන හා රට වෙත ලැබෙන සියළු මුදල් පිළිබඳ බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව සතු වන බැවින් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එවැනි අරමුදලක් ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බව ඔහු පැවසීය.
ඔහු තවදුරටත් සඳහන් කළේ, දැනට පවතින්නේ මුදල් නියෝජ්‍ය ලේකම්වරයාගේ සහ මහ බැංකු අධිපතිවරයාගේ ගිණුම් අංක පමණක් බවත්, නීත්‍යානුකූලව පිහිටවූ අරමුදලක් නොමැති බවත්ය. “එවැනි අරමුදලක් තිබේ නම්, එය රටට හෙළි කරන ලෙස අපි ඉල්ලා සිටිනවා” යනුවෙන්ද මන්ත්‍රීවරයා රජයට අභියෝග කළේය.
මෙම ආපදා තත්ත්වය හමුවේ අතිරේක වියදම් සඳහා රජය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම්, එයට පූර්ණ සහයෝගය ලබා දීමට විපක්ෂය සූදානම් බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී අවධාරණය කළේය.
රජය විසින් වියදම් සීමා කර ඇති නමුත්, ඉදිරි සති හතර සඳහා අවශ්‍ය මුදල් රජය සතුව ඇත. අවශ්‍ය චක්‍රලේඛ සකස් කර අරමුදල් නිදහස් කිරීමට රජයට කිසිදු බාධාවක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අරමුදලක් පිහිටුවන්නේ නම්, අපේ පූර්ණ සහයෝගය ලැබෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එසේම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ද මේ සම්බන්ධයෙන් අදහස් පල කර සිටියා.
“මේ රටේ ව්‍යසන කළමනාකරණ පනතක් තිබෙනවා. ඒ් පනතේ මුදල් ඒකතු කිරීම හා වියදම් කිරීම සම්බන්ධයෙන් දක්වා තිබෙනවා. ආපදා කළමනාකරණ සභාවේ සිටිය යුතු පුද්ගලයන් කවුද කියා දක්වා තිබෙනවා. එවැන්නක් තිබිය දී ජනාධිපතිවරයා අරමුදලක් පිහිටුවා කණ්ඩායමක් පත්කර තිබෙනවා. ජනාධිපතිවරයා තමන්ගේ විධායක බලය පාවිච්චි කර මේ පනතට පිටින් ගිහින් තමන්ගේ උපදේශකයන් ව්‍යාපාරිකයන් පත්කර තිබෙනවා. මේ සම්බන්ධව දැනුමත් තිබෙන විශේෂඥයන් ඒ් කණ්ඩායමට නැහැ.”
– what news

