Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් චීනයෙන් රු.මි43ක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් චීනයෙන් රු.මි43ක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් චීනයෙන් රු.මි43ක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ යහපැවැත්ම සහ සංවර්ධනය සඳහා සහාය වීම පිණිස සමස්ත චීන කාන්තා සම්මේලනය (All-China Women’s Federation – ACWF) විසින් යුවාන් 1,000,000 (ආසන්න වශයෙන් රු. මිලියන 43)ක් වටිනා ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දරුවන් සඳහා මාතෘ හා බිළිඳු කාමරයක් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා උපකරණ මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හරහා රටපුරා බෙදා හැරීම පිණිස කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන ද මෙම පරිත්‍යාගයට ඇතුළත් වේ.

මෙම පරිත්‍යාගය නිල වශයෙන් භාරදීමේ උත්සවය අඟහරුවාදා (25) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong ) මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියට නිල වශයෙන් පිළිගන්වන ලදී.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එහිදී සිය අදහස් දක්වමින් සඳහන් කළේ මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති දිගුකාලීන මිත්‍රත්වය පිළිබිඹු කරන්නක් බවයි. මෙරට කාන්තාවන්ගේ සහ දරුවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම රජයේ ප්‍රමුඛතාවයක් ලෙස පවතින බව අවධාරණය කළ කථානායකවරයා, සමස්ත චීන කාන්තා සම්මේලනයේ අඛණ්ඩ සහයෝගයට සිය කෘතඥතාව පළ කළේය.

රැස්ව සිටි පිරිස අමතමින්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙම කාලෝචිත පරිත්‍යගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළාය. පරිත්‍යාග කරන ලද ද්‍රව්‍ය, විශේෂයෙන් මෙරට අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්හි කාන්තාවන් සහ දරුවන් නඟා සිටුවීම අරමුණු කරගත් වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහය වනු ඇති බවද ඇය සඳහන් කළාය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දීර්ඝ මිත්‍රත්වය පිළිබඳව මෙහිදී සිහිපත් කළ චීන තානාපති චී ෂෙන්හොං මහතා සමස්ත චීන කාන්තා සම්මේලනයේ මෙම පරිත්‍යාගය කාන්තා සවිබල ගැන්වීම සහ දරුවන්ගේ යහපැවැත්ම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය දැක්වීම කෙරෙහි චීනයේ කැපවීම පිළිබිඹු කරන බව අවධාරණය කළේය.

2023 සහ 2024 වසරවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ සමස්ත චීන කාන්තා සම්මේලනය (ACWF) අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව චීන රජය විසින් මෙරට පාසල් නිල ඇඳුම් සඳහා සහාය වීමට සහ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි කටයුතුවලට අනුග්‍රහය ලබා දීම සඳහා එකඟතාවය පළ කොට තිබිණි.

Exit mobile version