තමන්ට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිසම තීන්දු කළාටත් පසු ඒ නඩුව දාන්නට නොදී කල් දමා ගන්නා ආකාරය පිළිබද කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු පූර්වාදර්ශ දෙමින් සිටින අතර, මේ වෙද්දී ඔහුට නඩු පැවරීමට තීන්දු කළ බව වාර්තා කොට මාස තුනක් දක්වා එම නඩු පැවරීම කල් දමාගෙන සිටී.
අනෙක් සැකකරුවන්ටත් පූර්වාදර්ශයක් වෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි තමන්ට එරෙහිව නඩු පැවරීමට පෙර, ලිඛිත දේශනාවක් (written submission) සලකා බලන ලෙස ඉල්ලා තිබේ.
2015 වසරේදී පොහොර සංස්ථාවේ සේවය කරද්දී අරමුදල් අයථා පරිහරණය කළ බවට එල්ල වන චෝදනා විමර්ශනය කරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත නීතිමය නියෝජනයක් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සන්ඩේ ටයිම්ස් වෙත ප්‍රකාශ කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මීට පෙර, අමාත්‍යවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට අනුමැතිය ලබා දී තිබුණි.
කෙසේ වෙතත් මෙසේ අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ප්‍රමාණවත් සූදානම් වීමකින් තොරව සිදු කර තිබුණි. ඔවුන් මෙම චෝදනාව අධ්‍යක්ෂ ජෙනරාල්වරයාවද මගහරිමින් කොමිසම වෙත ගෙන්වාගෙන තිබුණු අතර, කොමිසම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අදහස් විමසීමකින් තොරව නඩු පැවරීමට තීන්දු කර තිබුණි. එයින් පසු නඩු පැවරීමට අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කර තිබුණු අතර, අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ රාජකාරිය කොමිසම නඩු පැවරීමට තීන්දු කළ ඕනෑම සිදුවීමකට අදාලව නඩු පැවරීම වන පසුබිමක ඔහු නඩු පැවරීමට සූදානම් වෙමින් සිට ඇත.
අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කළ බවට පළ වූ පළමු මාධ්‍ය වාර්තාව 2025 අගෝස්තු 17 වැනි ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ විය.
එම වාර්තාවේ, අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව, මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිත බව, එය රුපියල් මිලියන 8ක අරමුදල් අයථා පරිහරණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් බව සදහන් වී තිබුණි.
මීට අමතරව, ඊට සති කිහිපයකට පසු, එනම් 2025 සැප්තැම්බර් 28 වැනි ඉරිදා, මෙම නඩුව කොමිසමේ නඩු ලැයිස්තුවේ අංක 49 ලෙස ඇතුළත් කර ඇති බවටත් තවත් මාධ්‍ය වාර්තාවක් පළ විය.
මෙම චෝදනා එල්ල වී ඇත්තේ කුමාර ජයකොඩි මහතා 2015 වර්ෂයේදී පොහොර සංස්ථාවේ සේවය කරන සමයේදී සිදු වූ සිදුවීමකට අදාලවය.
අමාත්‍යවරයා එවකට, විමර්ශනයට ලක් වූ විශේෂිත ටෙන්ඩරයක් පිරිනැමූ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත. ටෙන්ඩරය සම්බන්ධයෙන් ගෙවීම් සහ ඇප මුදල් (bond) ස්ථානගත කිරීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී තිබේ.
මේ වන විට නඩු පැවරීම සෑහෙන ප්‍රමාද කිරීමට හේතු වී තිබෙන අමාත්‍යවරයාගේ ලිඛිත දේශනය සලකා බැලීමෙන් පසු කොමිසමේ ඉදිරි තීරණය කුමක් වේදැයි බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත.
– තරිදු උඩුවරගෙදර

