ටියුනීසියා ජනාධිපතිවරයාට තර්ජනය කරන ආකාරයේ සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව කියන ෆේස්බුක් සටහනක් පළ කිරීම හේතුවෙන් පුද්ගලයෙකුට මරණ දඬුවම නියම ටියුනීසියාවේ අධිකරණයක් සබර් චෞචෙන් (Saber Chouchen) නම් 51 හැවිරිදි පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
රාජ්‍යය පෙරලා දැමීමට උත්සාහ කිරීම, ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම යන චෝදනා තුන සම්බන්ධයෙන් සබර් චෞචෙන් නම් පුද්ගලයා පසුගියදා වරදකරු බවට අධිකරණය තීන්දු කර ඇත. විනිසුරුවරු පැවසුවේ මෙම සටහන් ප්‍රචණ්ඩත්වය සහ අවුල් සහගත තත්ත්වයන් ඇති කරන සහ මහජනයා අවුස්සන බවත් ටියුනීසියාවේ දණ්ඩ නීති සංග්‍රහය මෙන්ම මතභේදාත්මක 2022 සයිබර් අපරාධ නීතිය වන ආඥාව 54 උල්ලංඝනය කරන බවත්ය.
ටියුනීසියාවේ වත්මන් ජනපති කයිස් සයිඩ් (Kais Saied) 2021 ජූලි මාසයේදී රජයේ සියලුම ශාඛාවල බලය අත්පත් කර ගැනීමෙන් පසු උක්ත සිද්ධිය හා සමාන චෝදනා සම්බන්ධයෙන් බොහෝ පිරිසකට දැඩි සිර දඬුවම් නියම කර ඇත.
ටියුනීසියාවේ දණ්ඩ නීති සංග්‍රහයේ මරණ දඬුවම තවමත් පවතින අතර සිවිල් අධිකරණ ඉඳහිට මරණ දඬුවම් නිකුත් කළද, 1991 දී අනුක්‍රමික ඝාතකයෙකුට එරෙහිව (serial killer) ක්‍රියාත්මක කිරීමෙන් පසු කිසිවෙකුට එරෙහිව ක්‍රියාත්මක කර නොමැති බව පැවසේ.
ෆේස්බුක් හි ප්‍රකාශයක් නිකුත් කරමින් චූදිතයාගේ නීතිඥ ඔසාමා බූතෙල්ජා පැවසුවේ තම සේවාදායකයා 2024 ජනවාරි සිට නඩු විභාගයට පෙර සිටම රඳවා තබාගෙන සිටින බවයි. ඔහු තිදරු පියෙකු බවත්, රැකියා ස්ථානයේ අනතුරක් හේතුවෙන් ස්ථිර ආබාධයකින් පෙළෙන ඉඳහිට දෛනික කම්කරුවෙක් ලෙස සේවය කරන බවද ඔහු පැවසීය.
නීතිඥ බුතෙල්ජා විසින් මෙම පුද්ගලයා සමාජීය වශයෙන් අවදානමට ලක්විය හැකි සහ සීමිත අධ්‍යාපන පසුබිමක් ඇති අයෙකු ලෙස විස්තර කළ අතර ඔහු අන්තර්ජාලයේ දැමූ පොස්ට් එක ඉතා සුළු වැරද්දක් බව පවසා තිබේ.
ඔහු Share කරන ලද බොහෝ ප්‍රමාණයක් පෝස්ට් වෙනත් Facebook පිටු වලින් ගෙන ඇති අතර සමහර සටහන් වලට මොහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව නීතිඥ බුතෙල්ජා පවසයි. නඩුව අධිකරණයේ විභාග කරන අවස්ථාවේදී සැකකරු පවසා ඇත්තේ, මෙවැනි පොස්ට් දැමීමේ අරමුණ වූයේ ඔහු පීඩා විඳින දුෂ්කර ජීවන තත්වයන් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කිරීම මිස නොසන්සුන්තාවක් ඇති කිරීම නොවන බවයි.
මෙම තීන්දුව 54වන ආඥාව (2022 cybercrime law, Decree 54) භාවිතා කිරීමේ අලුත්ම සිද්ධිය වන අතර එය “අන් අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, මහජන ආරක්ෂාවට හෝ ජාතික ආරක්ෂාවට හානි කිරීම හෝ ජනගහනය අතර භීතිය වැපිරීම අරමුණු කරගනිමින් අසත්‍ය ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීම, පැතිරවීම, බෙදා හැරීම, යැවීම හෝ ලිවීම නීති විරෝධී බව සඳහන් කරයි.”
කෙසේ වුවද 2022 දී මෙම මර්දන නීතිය සම්මත වූ දා සිට, මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් කණ්ඩායම්, ටියුනීසියාවේ ප්‍රකාශනයේ නිදහස මැඩපැවැත්වීම සඳහා බලධාරීන් විසින් භාවිතා කරන ප්‍රධාන මර්දනීය මෙවලමක් ලෙස හෙළා දැක තිබේ.