අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 80වැනි මහා මණ්ඩල සැසිවාරය අතරතුර ප්‍රංශය ඇතුළු රටවල් 6ක් පලස්තීනයේ ස්වාධීනත්වය නිල වශයෙන් පිළිගන්නා බවට පසුගිය අඟහරුවාදා දින (23) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාර ඉතිහාසයේ වැදගත් පියවරක් සටහන් කළ එම සිදුවීම සියවසක් පැරැණි ඊශ්‍රායල – පලස්තීන අර්බුදයේ ඓතිහාසික අවස්ථාවක් වූ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ප්‍රංශ ජනාධිපතිවරයා සැසිවාරය අතරතුර නිල ප්‍රකාශය සිදු කරමින් සඳහන් කර ඇත්තේ පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සහ සාමය උදා කිරීමට කාලය එළැඹී ඇති බවය. හමාස් සංවිධානය ඉතිරිව සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට මෙන්ම ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිදු කරන ජන සංහාරය අවසන් කිරීමටද කාලය එළැඹී ඇතැයි ප්‍රංශ ජනාධිපතිවරයා පලස්තීනය නිල වශයෙන් පිළිගැනීමේ ප්‍රකාශය සිදු කරමින් සඳහන් කර ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ආරම්භ වීමට පෙර බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 4ක් පලස්තීනයේ ස්වාධීනත්වය නිල වශයෙන් පිළිගන්නා බවට නිවේදනය කළ අතර,පසුගියදා (23) ප්‍රංශයට අමතරව ඇන්ඩෝරා, බෙල්ජියම, ලක්සම්බර්ග්, මෝල්ටාව සහ මොනාකෝ රාජ්‍යයද පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිලිගැනීමේ නිවේදන නිකුත් කළ බව වාර්තා වේ. එම අවස්ථාවේදී අමෙරිකානු සහ ඊශ්‍රායල නියෝජිතයන් සැසිවාරය මඟ හැර ගිය බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.