මෙරට ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් රෝහල් පද්ධතියෙ හි භෞතික සම්පත් ඉහළ නැංවීමට අති නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථ 20ක් රජයේ රෝහල් වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ඊයේ (25) සිදු කෙරිණි.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය මත සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් මධ්‍යම රජයේ සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් සදහා බෙදාදෙන ලද මෙම එක් ගිලන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 257කට අධික වේ.
මෙම නව ගිලන් රථ තුළ අති නවීන පහසුකම් රැසක් පවතින අතර රෝගීයා වෙනත් රෝහලක් කරා ගෙනයන අතරතුරද ප්‍රතිකාර රැසක් එමඟින් සිදු කිරීමේ හැකියාව පවතී.
ඇඹිලිපිටිය, නාවලපිටිය, මාතලේ, මීගමුව, ත්‍රිකුණාමලය, නුවරඑළිය, හලාවත, මොණරාගල, දඹුල්ල, හොරණ, යන දිස්ත්‍රික් මහ රෝහල් දහය සඳහාද පොළොන්නරුව, මඩකළපුව, බදුල්ල, අනුරාධපුර යන ශික්ෂණ රෝහල් සඳහාද පොතුවිල්, කන්තලේ, අක්කරෙයිපත්තුව, දෙහිඅත්තකන්ඩිය, යන මූලික රෝහල් සඳහාද අම්පාර මහ රෝහලට සහ සීගිරිය රෝහලටද මෙම අති නවීන ගිලන් රථ 20 බෙදා දෙන ලදී.
මෙරට මධ්‍යම රජයේ සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් පද්ධතියට අවශ්‍යවන ගිලන්රථ අවශ්‍යතාවය පරිදි ඉදිරි කාලය තුළ දී අදියරෙන් අදියර ලබා දීමට කටයුතු කරන බවත්, ඒ සදහා මධ්‍යම රජයේ, සෞඛ්‍ය සංවර්ධනය සදහා වෙන්වූ විශේෂ ව්‍යපෘතිවල මෙන්ම විදේශ රාජ්‍යන්ගේ සහායද ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසීය.
එමෙන්ම රෝහල් පද්ධතියෙහි සිදුකළ යුතු භෞතික සම්පත් සංවර්ධනයට මේවන විට පියවර ගෙන ඇති බව සදහන් කළ අමාත්‍යවරයා එය ක්‍රමාණුකූලව නිසි සැලසුමකට අනූව සිදුකරන බවද අවධාරණය කර සිටියේය. මෙරට ජනතාවට ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිරතුරුවම කැපවන බවද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.