ගාසාහි අල්-ෂිෆා රෝහල ආසන්නයට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරයකින් තම මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගිය බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
ප්‍රහාරය එල්ල වන විට අනාස් අල්-ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම් සහර්, මොහොමඩ් නූෆාල් සහ මෝමෙන් අලිවා යන අය රෝහලේ ප්‍රධාන දොරටුව අසල පිහිටි මාධ්‍යවේදීන් සඳහා වෙන් වූ කූඩාරමක සිටි බව අල් ජසීරා වාර්තා කරයි.
නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා නාලිකාව මෙම ප්‍රහාරය “ඉලක්කගත ඝාතනයක්” ලෙස හැඳින්වූ අතර එය මාධ්‍ය නිදහසට එල්ල කරන ලද තවත් පැහැදිලි සහ සැලසුම්සහගත ප්‍රහාරයක් බවද සඳහන් කර තිබේ.
ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු, සිය ප්‍රහාරයේ ඉලක්කය වූයේ 28 හැවිරිදි අනාස් අල්-ෂරීෆ් බව ඊශ්‍රායල හමුදාව පැවසුවේ, ඔහු හමාස් ත්‍රස්තවාදී අංශයක නායකයෙකු බවට ටෙලිග්‍රෑම්හි සටහනක් පළ කරමිනි.
මිය ගිය අනෙකුත් මාධ්‍යවේදීන් ගැන ඊශ්‍රායල් හමුදාව සඳහනක් කර තිබුණේ නැත.
මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව පවසා ඇත්තේ මෙම සිද්ධිය භීතිය දනවන්නක් බවත් 2023 ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් ආරම්භ කළදා සිට මේ වන තෙක් මාධ්‍යවේදීන් 186 දෙනෙකු ඝාතනය වී ඇති බවත්ය.