පාකිස්තානය ඉන්දීය ගුවන් සේවා සහ ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් කලාපය වසා තැබීම තවත් මසකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව එළඹෙන අගෝස්තු 24 වැනිදා දක්වා ඉන්දීය ගුවන් යානා සඳහා පකිස්තාන ගුවන් සීමා තහනම තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත.
ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීර කලාපයේ “පහල්ගම්” ප්‍රදේශයේදී ඉකුත් අප්‍රේල් 22 වැනිදා සංචාරකයින් පිරිසකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සහ පකිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳවැටුණි. එම පසුබිම තුළ, අප්‍රේල් 24 වැනිදා පකිස්තාන රජය විසින් ඉන්දීය ගුවන් යානා සහ එරට ගුවන් සමාගම් සඳහා සිය ගුවන් කලාපය වසා දමනු ලැබීය.
පාකිස්තාන ගුවන් සේවා බලධාරීන් අදාළ ගුවන් නියමුවන් සහ ගුවන් භටයින් වෙත නව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉන්දීය ගුවන් යානා සහ ඉන්දීය ගුවන් සමාගම් විසින් මෙහෙයවනු ලබන සියලු ගුවන් ගමන් සඳහා සිය ගුවන් කලාපය වසා තැබීම, එළඹෙන අගෝස්තු 24 වැනිදා අලුයම දක්වා දීර්ඝ කරන බවයි. ඉකුත් අප්‍රේල් 30 වැනිදා ඉන්දීය රජය ද පකිස්තාන ගුවන් යානා සහ පකිස්තාන ගුවන් සමාගම් සඳහා සිය ගුවන් කලාපය තහනම් කිරීමට පියවර ගත්තේය.
කෙසේ වුවද දෙපාර්ශ්වය විසින්ම නව නිවේදන නිකුත් කරමින් සිය ගුවන් කලාප තහනම එකිනෙකා වෙත දීර්ඝ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.