රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක්) වැට් බදු ගෙවීම් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට නියම කර ඇති මාස 06ක සිරදඬුවම බල රහිත කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරයකු වන ඒ.රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන්; රිට් පෙත්සමක් මඟින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 12 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (08) තීරණය කළේය.
එම රිට් පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් සහ නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශ කරන ලදි. සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සරුක් මහතා සඳහන් කළේ රුපියල් බිලයන 3.5කට ආසන්න වැට් බදු නොගෙවීම සම්බන්ධයෙන් පෙත්සම්කරු ඇතුළු පිරිසකට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවය.
එම නඩුවට අදාළව වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් තම සේවා දායකයා වරදකරු බවට 2023 වසරේ නොවැම්බර් මස 23 වැනිදා තීරණය කළ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. ඒ අනුව ඉකුත් ඔක්තෝබර් මස 14 වැනිදා මාස හයක ලිහිල් සිර දඬුවමක් නියම කළ අතර වාරික වශයෙන් එම මුදල් ගෙවීමට කළ ඉල්ලීමද මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති නීතිඥවරයා සදහන් කළේය.
අනතුරුව සිය සේවා දායකයාට මාස හයක සිර දඬුවම් නියම කළ බවද ඔහු දන්නා සිටියේය. එම සිර දඬුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි වන බැවින් මහේස්ත්‍රාත් අධිකරණයේ එම නියෝගය බල රහිත කර ඔහු ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අනූපා ද සිල්වා මහත්මිය සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවය.
කරුණු වසන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව ඇය සඳහන් කළාය. මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙන ලද නියෝගයට එරෙහිව ප්රතිශෝධන ඉල්ලීමක් මහාධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව තිබියදී එසේ නොකර අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටින්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කළාය. වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් 2023 වසරේ නොවැම්බර් මස 23 වැනිදා මෙම පෙත්සම්කරු මහේස්ත්‍රාත්වරයා වරදකරු කළ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අදාළ බදු මුදල් ගෙවීමට වසරක කාලයක් ලබා දී තිබූ බව ඇය සඳහන් කළාය.
එම බදු මුදල් ගෙවීමට පෙත්සම්කරු කටයුතු කර නොමැති බැවින් ඒ මෙම සිර දඬුවම් නියම කෙරුණු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නාය. මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශ කිරීම කල් තැබීමට තීරණය කළේය. ඩබ්ලිව්. එම්. මෙනඩිස් සහ ඒ.රන්දෙව් දිනේන්ද්‍ර ජෝන් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ, එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝ වෙති.