සැප්තැම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ගලයන්ගේ පරිශ්‍රයන් වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ස්වතක්සේරු ගෙවීම් ක්‍රමය යටතේ සැප්තැම්බර් 30 දිනට පෙර සියලු හිඟ බදු මුදල් ගෙවන ලෙස මීට පෙර බදු ගෙවන්නන්ට දැනුම් දී තිබිණි. ඒ අනුව සැලකිය යුතු පිරිසකගෙන් බදු ආදායම් එක්රැස් කර ගැනීමට සමත් වී තිබෙන නමුත් තවමත් හිඟ බදු මුදල් ගෙවා නොතිබෙන පිරිස වෙත ගොස් මේ ආකාරයට ඒවා අය කර ගැනීමට තම දෙපාර්තමේන්තුව ඉකුත් සිකුරාදා (04) පටන් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය ප්‍රකාශ කළාය.
මෙතෙක් නොගෙවා තිබෙන ස්වතක්සේරු ගෙවීම් ක්‍රමවේදය යටතේ හිඟ බදු මුදල් අයකර ගැනීමේ දී නීතිමය කටයුතු ක්ෂණිකව සපුරාලීමටද තම නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි කොමසාරිස් ජනරාල්වරිය කීවාය.
මුදල් අමාත්‍යාංශය විසින් මේ වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2024කි. ඉන් සැප්තැම්බර් 30 වන විට එයින් රුපියල් බිලියන 1417ක් රැස් කරනු ඇතැයිද ඇය සඳහන් කළාය.
එය මේ වසර සඳහා ලබාදී ඇති ආදයම් ඉලක්කයෙන් සියයට හැත්තෑවකට වැඩි අගයක් ගන්නා බවද ඇය කීවාය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ එක් වසරක් සඳහා අය කර ගත යුතු වැඩිම ආදායම් ඉලක්කය වසර 2024 තුළ අයකරගන්නැයි තමන්ට ලබාදී ඇතැයිද ඇය කීවාය.
ඉදිරි මාසයේදී මැතිවරණයක් පැවැත්වෙන නිසා තම දෙපාර්තමේන්තුවේ නිලධාරීට වඩාත් කාර්යබහුල කාලයක් උදාවී ඇතැයිද, එසේ තිබියදීත් කෙසේ හෝ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට කටයුතු කරන්නැයිද තමන් සියලු දෙනාට දැනුම්දී ඇතැයිද ජනරාල්වරිය පැවසුවාය.