Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට රිට් ආඥාවක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට රිට් ආඥාවක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට රිට් ආඥාවක්

ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකුට අයත් එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

ඊට අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000/-ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා විසින් නිකුත් කළ තීන්දුවේ වැඩි දුරටත් සඳහන් වුණි.

ආර්.එස්. ජමිල් ඇතුළු 42 දෙනෙකු විසින් 2020 වසරේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස එවක මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, එකලස් කරන ලද වාහන ලියාපදිංචි කරන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී ඇති අතර එවැනි වාහන ලියාපදිංචි කිරීම සඳහා 2016 වසරේ නොවැම්බර් මස 09 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයක් ද ගෙන තිබූ බවය.

එවැනි නීතිමය පසුබිමක් තුළ තම වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ගත් තීරණය නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් සඳහන් කර තිබුණි.

එහෙත් එම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙන්නේ එකලස් කරන ලද වාහන 2,250ක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පමණක් බවත් ඒ යටතේ මෙම නඩුකරයට පාදක වන වාහන ලියාපදිංචි කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අත්තනෝමතික සහ අනීතික ලෙස අදාළ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පෙත්සම්කරුවන්ගේ නීතිමය අපේක්ෂාවන් උල්ලංඝනය වී ඇති බවය.

එසේම අදාළ වාහන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතු ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වී ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

ඒ අනුව අදාළ වාහන වහාම ඔක්තෝබර් මස 31 වනදාට පෙර ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළ විනිසුරුවරයා පෙත්සම්කරුවන්ට රුපියල් 10,000/- බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බවත් රජයට නියෝග කළේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ ලක්මාල් සූරියගොඩ මහතා සමග නීතිඥ සඳමල් රාජපක්ෂ මහතා පෙනී සිටියේය.

Exit mobile version