Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කරාපිටියේ හදවත් සැත්කම් පෝලිම අද ලියාපදිංචි වුණොත් සැත්කම තව වසර 4කින්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකය තුළ හෘද සැත්කම් කළ යුතු හෘද රෝගීන්ගේ පෝලිම 2028 දක්වා දිගු වී ඇති බව එම ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හෘද සැත්කම් කර ගැනීම සඳහා මෙම ඒකකයේ අලුතෙන් ලියාපදිංචි වන හෘද රෝගියෙකුට 2028 වන තෙක් බලා සිටිමට සිදුවී ඇති බව හෘද රෝගීහු පවසති.

හෘද සැත්කම් කර ගැනීම සඳහා මෙම ඒකකයේ ලියාපදිංචි වන රෝගියෙකුට මෙහි සේවය කරන හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් විසින් ලබා දෙන්නේ, 2028 දිනයක් බව හෘද රෝගීහු පෙන්වා දෙති.

කොන්ත්‍රාත් පදනම මත මෙම ඒකකයේ සේවය කරන හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා සමග මෙහි හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු තිදෙනෙක් සේවය කරති.

නාමල් ගමගේ වෛද්‍යවරයා සතියකට හෘද සැත්කම් හතරක් පමණ සිදු කරනු ලබන අතර ඉකුත් වසරේදී (2023) නාමල් ගමගේ මහතාගේ හෘද සැත්කම් කළ යුතු හෘද රෝගීන්ගේ ලැයිස්තුව 1,500ක් පමණ වී තිබිණි.

එහෙත් ඉකුත් වර්ෂයේ නාමල් ගමගේ වෛද්‍යතුමන් විසින් සිදු කොට ඇත්තේ, හෘද සැත්කම් 400කට ආසන්න සංඛ්‍යාවකි.

හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා පවසන්නේ, ඔහු විශ්‍රාම යන විට සැත්කම් කළ යුතු හෘද රෝගීන් 4,000කගේ පමණ ලැයිස්තුවක් තිබූ බව ය.

එම රෝගීන් ජීවත්ව සිටිනවා ද? යන්න සොයා බැලිය යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

මේ පිළිබඳ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර මහත්මියගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවා ය.

“හෘද සැත්කම් කර ගැනීම සඳහා 2028 වන තෙක් බලා සිටීමට හෘද රෝගියෙකුට කීම ප්‍රායෝගික නැහැ. මේ නිසා අලුතෙන් ලියාපදිංචි වන රෝගීන් සඳහා අමතර ලැයිස්තුවක් අපි දාලා තියෙනවා. දිනකට හෘද සැත්කම් 2ක් විතර මා විසින් කරනවා. එක් හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට කනිෂ්ඨ වෛද්‍යවරු 8 දෙනෙකු සිටිය යුතු යි. කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ හිඟය මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපානවා. අනෙක් කාරණය තමයි වෛද්‍යවරු අවුරුදු හතරෙන් හතරට මාරු කිරීම. මේ අය පුහුණු කරන්න වසර 2ක් විතර යනවා. හෘද සැත්කම් කිරීමට හැකි උච්චතම අවස්ථාව වන විට ඒ අය මාරු වෙනවා. පුහුණු වෛද්‍යවරු ඉන්නවා නම් වැඩි ප්‍රමාණයක් හෘද සැත්කම් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. හෘද සැත්කම්වල ගුණාත්මකභාවයත් ඉතා වැදගත්. එමෙන් ම, කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ ද ගුණාත්මකභාවය වැදගත්. මාගේ ලැයිස්තුවේ හෘද සැත්කම් කළ යුතු රෝගීන් 200ක් 300ක් විතර ඉන්නවා”

මේ පිළිබඳ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවේ ය.

“ඔය කියන තරම් හෘද සැත්කම් කළ යුතු හෘද රෝගීන් නැහැ. නමුත් සැත්කම් කළ යුතු හෘද රෝගීන්ගේ යම් තදබදයක් තියෙනවා. හෘද හා උරස් කුහර සීමිත සැත්කම් ප්‍රමාණයක් තමයි කරන්න පුළුවන්. මේක අමාරු සැත්කමක්” යැයි ද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

ලලිත් රුහුණගේ – ගාල්ල

mawbima

Exit mobile version