වසර 14කට පසු බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ජයගත් කම්කරු පක්ෂයේ නව අමාත්‍ය මණ්ඩලයට ඉතිහාසයේ පළමු වතාවට වැඩිම කාන්තාවන් පිරිසක් පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නව අගමැති කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාමර්ගේ 25 දෙනකුගෙන් සමන්විත ඇමැති මණ්ඩලයට කාන්තාවන් 11 දෙනකුම පත් කර ඇති අතර, එහි ප්‍රතිශතය 44%ක් වන බවද වාර්තා වේ.
ඉන් කැපී පෙනෙන වෙනස වන්නේ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවරට කාන්තාවකට මුදල් අමාත්‍යධුරය පිරිනැමීමය. මීට පෙර එරට භාණ්ඩාගාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ රෂේල් රීව්ස් එම තනතුරට පත් කර ඇති අතර, කම්කරු පක්ෂයේ නව කැබිනට්ටුවට ආසියාතික සම්භවයක් සහිත කාන්තාවන් දෙදෙනකු පත් කිරීමටද නව අගමැතිවරයා කටයුතු කර ඇතැයි වාර්තා වේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු මුස්ලිම් මන්ත්‍රීවරියක වූ පාකිස්තාන සම්භවයක් සහිත ශබානා මහ්මූද් අධිකරණ අමාත්‍යවරිය ලෙසත්, ඉන්දීය සම්භවයක් සහිත ලීසා නැන්ඩි සංස්කෘතික, මාධ්‍ය හා ක්‍රීඩා අමාත්‍යවරිය ලෙසත් පත් කර ඇතැයි ද වාර්තා වේ.
කම්කරු රජයේ නව ඇමැති මණ්ඩලය පත් කිරීමේදී කාන්තා නියෝජනයට අමතරව බ්‍රිතාන්‍යයේ රජය යටතේ පාලනය වන පාසල්වලින් අධ්‍යාපනය ලැබූ අය කෙරෙහිද ස්ටාමර්ගේ දැඩි අවධානය යොමුවූ බවද වාර්තා වේ. කෙසේ වෙතත් පෞද්ගලික ආයතනවල අධ්‍යාපනය ලැබූ ලුයිස් හයිෆ්ට සහ ඇනලීස් ඩෝඩ්ස්ටද ඇමැතිධුරය පිරිනැමීමට අගමැතිවරයා පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ලුයිස් හයිෆ් එරට ප්‍රවාහන ඇමැතිවරිය ලෙස පත්කර ඇති අතර, ජාත්‍යන්තර කටයුතු සංවර්ධන ඇමැතිවරිය ලෙස ඇනලීස් ඩෝඩ්ස් පත් කර ඇතැයි වාර්තා වේ.
44 හැවිරිදි ඇන්ජෙලා රයිනර් උප අගමැතිවරිය ලෙස පත් කර ඇතැයිද, වයට් කූපර් අභ්‍යන්තර කටයුතු ඇමැතිනිය ලෙසත්, අමෙරිකාවේ උපත ලැබූ බ්‍රිජට් පිලිප්සන් අධ්‍යාපන ඇමැතිවරිය ලෙසත් පත්කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එරට විදේශ ඇමැතිවරයා ලෙස ගයානා දූපත් සම්භවයක් සහිත කළු ජාතිකයකු වන ඩේවිඩ් ලැමී පත්කිරීමටද අගමැතිවරයා පියවර ගෙන තිබේ.