Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එන්නත් වර්ග 08ක් ලියාපදිංචි කිරීම ගැන ප්‍රශ්නය අභියාචනාධිකරණයට

ජාතික ඖෂධ නියාමන අධිකාරිය

ජාතික ඖෂධ නියාමන අධිකාරිය

විධිමත් පරීක්ෂණයකට යටත් නොකොට මෙරට පුද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් වර්ග 08ක් ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් වැඩිදුර විභාගය සඳහා ලබන මස 23වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනකු වන ප්‍රණීතා එන්. වර්ණකුලසූරිය සහ දෙව්ෂාන් පී. බුද්දරගේ යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබේ.

මෙම පෙත්සම බ්‍රහස්පතින්දා (20) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා කියා සිටියේ ප්‍රශ්නගත අදාළ එන්නත් තවදුරටත් නිෂ්පාදනය වෙමින් පවතින බවත් එම නිසා මෙම පෙත්සම කඩිනමින් විභාගයට ගෙන ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙසත්ය.

එහෙත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ අදාළ ඖෂධය පිළිබඳව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන මස 23වනදා කැඳවන ලෙසත් අධිකරණය නියම කළේය.

පෙත්සම්රුවන් කියා සිටින්නේ ඖෂධයක් වෙළෙඳපොළට මුදා හැරීම සඳහා ලියාපදිංචි කිරීමට පෙර එය මාස හයක පරීක්ෂණ කාලයකට යටත් කෙරෙන බවය.

එහෙත් වගඋත්තරකාර සමාගම විසින් නිෂ්පාදනය කළ මොළය ආශ්‍රිත රෝග මෙන්ම නිර්වින්දන කටයුතු සඳහා යොදා ගන්නා එන්නත් වර්ග අටක් එම පරීක්ණ කාලයට යටත් නොකොට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචි කිරීම තුළින් මහජන සෞඛ්‍යයට හානිකර විය හැකි බවත් පෙත්සම්කරුවන් පෙන්වාදී තිබුණි.

එබැවින් අදාළ එන්නත් වර්ග වෙළෙඳපොළට මුදා හැරීම සඳහා ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Exit mobile version