Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් 1000කට පත්වීම් ලිපි

පුහුණුව සදහා පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් 1000ක්

පුහුණුව සදහා පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් 1000ක්

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙිපොල මහත්මියගේ සහභාගීත්වයෙන් අඟහරුවාදා දින (21) අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි.

2015 / 2016 / 2017 යන වර්ෂවල උසස්පෙළ ඕනෑම විෂය ධාරාවකින් එක් වරක දී විෂයන් 03 සමත් අයදුම්කාරිනියන්ගෙන් අයදුම්පත් කැඳවන ලද අතර, ඒ සදහා සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කාරිනියන් 2836ක් පුහුණුව සදහා තෝරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙරට දරු උපත් වලින් 99.9 %ක් සිදුවන්නේ රෝහල්වල බවත්, 1950 ගණන්වල එය සියයට 40ක් පමණ අගයක් ගත් බවත්, අනෙකුත් දරු උපත් සිදුවූයේ නිවෙස්වල බවයි.

මෙරට සෞඛ්‍ය වෘත්තිකයින්ට ලෝකයේ විශාල ඉල්ලුමක් ඇති බවත්, වාත්තීය ක්ෂේත්‍රයන්හි ඉදිරියට යාමේ දී භාෂා හැකියාව අඩුවීම ප්‍රධාන අභීයෝගයක් වී ඇති බවද පැවසීය. මෙරට සෞඛ්‍ය පද්ධතියේ ඇති ලොකුම අඩුව භාෂා දැනුම පසුගාමී තත්ත්වයක පැවැතීම බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

අද වන විට සෞඛ්‍ය සේවාවේ විශාල පරිවර්ථනයක් සිදුව ඇති බවත්, ජීවත්වීමේ ආයුකාලය අවුරුදු 73ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පැවැසීය. වසර 100ක් වැනි දිගු ඉතිහාසයක් ‌පවුල් සෞඛ්‍ය සේවාවට ඇති බවත්, එවැනි සේවාවකට එක්වීමට ලැබීම භාග්‍යයක් බවද වැඩිදුරටත් පැවැසීය.

අයදුම්කාරිනියන් 2836ක් කණ්ඩායම් දෙකක් වශයෙන් පුහුණුවට බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කල අතර, එහි පළමු කණ්ඩායම පුහුණු පාසල්වල පුහුණුව අවසන් කර ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත.

එහි දෙවන කණ්ඩායම මෙම කණ්ඩායම වන අතර, මෙම අභ්‍යාසලාභීන් 1000 සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුහුණු හා පර්යේෂණ අංශය විසින් ආරම්භ කරන ලද නව පුහුණු මධ්‍යස්ථා වනද සොයිසා කාන්තා රෝහල, නාරාහේන්පිට මහජන සෞඛ්‍ය සංකීර්ණය, කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, කඩුගන්නාව ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, කහවත්ත මූලික රෝහල, හම්බන්තොට පැරණි දිස්ත්‍රික් මහ රෝහල, මහමෝදර පැරණි රෝහල, කුරුණෑගල පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, අනුරාධපුර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය, මඩකලපුව පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය යන පුහුණු මධ්‍යස්ථානවල පුහුණුවීම් සදහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කර ඇත.

මේවන විට රේඛීය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් 1350ක් සේවය කරන අතර පළාත් සභාව යටතේ පවතින ආයතන වල 7450ක් සේවය කරනු ලබයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version