Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

13 වන සංශෝධනය බලාත්මක කරනවා නම් බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම අනුගමනය කළ යුතුයි! – පාඨලී චම්පික රණවක

13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල මතය විමසමින් ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් සියලුම පක්ෂ වෙත කර තිබෙන අදහස් හා යෝජනා විමසීමට ප්‍රතිචාර දක්වමින්, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිය ස්ථාවරය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.

මෙහිදී 13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් පුර්ව කොන්දේසියක් හා හදිසි කටයුත්තක් වන්නේ වසර ගණනාවක් තිස්සේ මහජන නියෝජිතයන්ගෙන් තොරව ක්‍රියාත්මක වන පළාත් සභාවලට තම නියෝජිතයන් පත් කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව සලසා දෙනු වස් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම වන බවත් ඒ සඳහා දැනට මතුවී තිබෙන නීතිමය බාධක පාර්ලිමේන්තුවට ඉතා පහසුවෙන් විසඳා ගත හැකි බව විශ්වාස කරන බවත් රණවක මහතා සඳහන් කරයි.

”පළාත් සභාවලට වෙන් කර තිබෙන විෂයයන් සම්බන්ධයෙන් අදාළ වන ඉඩම් බලතල ජාතික භෞතික සැළැස්මට අනුකූලව පලාත් සභාවලට බාධාවකින් තොරව ලබා දිය යුතුය. ඒ අතර සමගාමී ලැයිස්තුවේ සහ මධ්‍යම ආණ්ඩුවේ කටයුතු වලට අදාල ඉඩම් බලතල පිළිබද පලාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කරගැනීම සඳා විධිමත් නිල යාන්ත්‍රණයක් පිහිටුවීම සුදුසුය.

එසේම පළාත්වලට ඉඩම් බලතල දීම පිළිබඳ පසුගිය ශත වර්ෂයේදී දේශපාලන කථිකාව විසින් මතු කරනු ලැබූ කරුණු ඉක්මවා ගිය නව පාරිසරික හා භෞතික සංවර්ධන සැලසුම් පිළිබඳ සාධක පැන නැගී ඇති බැවින් ඉඩම් බලතල බෙදීම සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කරන නිර්නායක අලුතින් මතු වීිඇති සාධක ද සැළකිල්ලට ගනිමින් පුනරීක්ෂණයට ලක් කළ යුතු බව අපි අදහස් කරමු.

පොලිස් බලතල සම්බන්ධයෙන් අප පක්ෂය දරණ අදහස වන්නේ පළාත් සභාවල හෝ මධ්‍යම ආණ්ඩුවේ පොලිස් බලතල පිළබඳ වගකීම දේශපාලන අධිකාරියක් යටතට පත් කිරීම අනර්ථකාරී ප්‍රතිඵල මතුකරන බවය. අපගේ යෝජනාව වන්නේ පළාත් මධ්‍යම ආණ්ඩු භේදයකින් තොරවම සමස්ත පොලීස් සේවාවම ස්වාධීන පොලිස් කොමිසමකින් මෙහෙයවිය යුුතු බවය. පොලීසිය ජනවාර්ගික අගතීන්ගෙන් තොරව ක්‍රියාත්මක වන මහජන සේවාවක් බවට පත්කිරීමේ වගකීම එවැනි ස්වාධීන කොමිසමකට කළ හැකි කටයුත්තකි.

13 වන සංශෝධනය බලාත්මක කිරීම යනුවෙන් රජය අදහස් කරන්නේ දැනට නීතියේ පවතින බලය බෙදීමේ ව්‍යුහය ඉක්මවා යන නව ව්‍යුහයක් තනා ගැනීම නම් එවැන්නක් සඳහා පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්තට අමතරව සමහර විට ජනමත විචාරණයක් පවත්වා සෘජු මහජන අනුමැතිය ද අවශ්‍ය විය හැකි බැවින් රජය ඇත්ත වශයෙන්ම අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේය.

එවැනි නව ව්‍යුහයක් පිළිබඳ අප පක්ෂයේ අදහස ඉදිරිපත් කළ හැක්කේ රජයේ යෝජනාව පිළිබඳ පැහැදිලි භාවයක් සහිත විස්තරාත්මක යෝජනාවක් ඉදිරිපත් කරන වාතාවරණයකදී ය.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.

Exit mobile version