Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් 14,00,000ට ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් ගන්නේ නෑ

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් 14,00,000ට ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් ගන්නේ නෑ

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් එනම් දාහතර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බව වෛද්‍ය පර්යේෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

උදය ආහාරය නොගැනීම දරුවන්ගේ මොළය මෙන්ම ශරීරයේ වර්ධනයට ඉතා අහිතකර ලෙස බලපාන බව එම පරීක්ෂණවලින් තොරතුරු හෙළිවී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර දරුවන්ගෙන් පහෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් රටේ පවතින නරක ආර්ථික තත්වය දරුවන්ට එරෙහි අපයෝජන සහ ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමටද ප්‍රධාන හේතුවක්වී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවල දැක්වෙන බව පවසන මන්ත්‍රීවරයා මේ ප්‍රවණතාව දිගින් දිගටම පැවැතුණහොත් ළමයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගොඩනඟා ගෙන ඇති ප්‍රගතිය ආපසු හැරීයෑමේ මෙන්ම සමහරවිටෙක එය ස්ථීරවම නැතිවීමේ අවදානමක් පවතින බවද පෙන්වා දුන්නේය.

දරුවන් පෝෂණය කිරීමේ වගකීම අද මවුපියන්ට දරාගත නොහැකිවූ බරක්වී ඇතැයි පවසන ගාමිණී වලේබොඩ මහතා ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දරුවන්ට ලබා දිය යුතු පෝෂ්‍ය පදාර්ථ පිරි සත්ත්ව ආහාර මෙන්ම ශාක ආහාරද ලබා දීමට වෙනදා මෙන් මවුපියන්ට හැකියාවක් නැතැයිද සඳහන් කළේය.

මේ හේතුවෙන් නුදුරු අනාගතයේදීම පෙනෙන හා නොපෙනෙන පෝෂණ ඌනතා ළමයින් අතර වැඩි විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇතැයිද විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී හා අඩු පෝෂණ අධ්‍යාපනයක් සහිත පවුල්වල දරුවන් අතර මේ තත්වය වඩාත් දරුණුවිය හැකි යැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

Exit mobile version