Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෘෂිකාර්මයට උනන්දු කරවීම සඳහා තරුණ ප්‍රජාවට සහන පොලී ණය යෝජනා ක්‍රමයක්

වගා කටයුතු සදහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩ පිළිවෙළක් වශයෙන් තරුණ ප්‍රජාවට සහන පොලී අනුපාතයක් යටතේ ණය මුදල් රාජ්‍ය බැංකු මගින් ලබා දීම සදහා මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යාපෘති හතරෙහි නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩ සටහන හෙවත් SAPP ව්‍යාපෘතිය විසින්(13)වැනි දා හම්බන්තොට දී තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට උනන්දු කරවීම සඳහා අදාළ සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ බවට අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම වැඩ පිළිවෙළ යටතේ 6.5%ක අවම පොලී අනුපාතයක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 50කට රුපියල් මිලියනයක් හා මිලියන දෙකක් බැගින් ණය මුදල් ප්‍රදානය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරනු ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සහන ණය වැඩ සටහන යටතේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිටින කෘෂිකර්මාන්තයට කැමැත්තක් දක්වන රැකියා විරහිත තරුණ තරුණියන්ට ද තමන් කැමැති සුදුසු වගාවක් සඳහා හෝ සත්ව පාලනය සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා දීමට කටයුතු යොදා ඇති බවට කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩ සටහන හෙවත් SAPP ව්‍යාපෘතිය පවසයි.

එමෙන්ම SAPP ව්‍යාපෘතිය විසින් ණය මුදල් ලබා ගන්නා තරුණ තරුණියන්ට අදාළ වගා කිරීමට අවශ්‍ය තාක්ෂණය, උපදෙස්, අධීක්ෂණය හා තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා අවශ්‍ය වෙළෙද පොල ද සම්පාදනය කර දීම විශේෂත්වයක්.

විශේෂයෙන් රැකියා විරහිත තරුණ ප්‍රජාව ඉළක්ක කර ගනිමින් ආරම්භ කර ඇති මෙම වැඩ සටහන මගින් හැකි තරම් අපනයනය ඉළක්ක කර ගනිමින් වගා කළ හැකි කෘෂිකාර්මික බෝග, එළවළු හා පලතුරු නිෂ්පාදනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

Exit mobile version