Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා පිල මෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය වාර්තා කරයි

ශ්‍රී ලංකා පිල මෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය වාර්තා කරයි

ශ්‍රී ලංකා පිල මෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය වාර්තා කරයි

සංචාරක අයර්ලන්ත පිල ඉනිමකින් සහ ලකුණු 280කින් පරාජය කළ ශ්‍රී ලංකා පිල මෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය වාර්තා කිරීමට (18) සමත් විය. ශ්‍රී ලංකා – අයර්ලන්ත පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී (18) තුන්වැනි දිනයේදී පස්වරු තේ පානයෙන් මොහොතකට පසු නිමාවට පත් විය. ඊට පෙර ශ්‍රී ලංකා පිලේ විශාලතම ටෙස්ට් ජයග්‍රහණය ලෙස වාර්තා පොතට එක්වී තිබුණේ 2004 වසරේ මැයි මාසයේ බුලවායෝ නුවරදී සිම්බාබ්වේ පිලට එරෙහිව ලැබූ ඉනිමක සහ ලකුණු 254ක ජයග්‍රහණයයි.

පෙරේදා දිනය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 117ක් ලබා සිටි අයර්ලන්ත පිලේ ඉතිරි කඩුලු 3ම ඕවර 9ක් ඇතුළත බිඳ වැටීමෙන් මුළු ලකුණු සංඛ්‍යාව 143කට සීමාවූ අතර, ඉනිමක පරාජයෙන් බේරීමට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට සිදු විය. (18) උදෑසන බිඳ වැටුණු කඩුලු 3න් දෙකක්ම හිමිකරගත් ප්‍රභාත් ජයසූරිය අයර්ලන්ත පළමු ඉනිමෙන් උදුරා ගත් කඩුලු සංඛ්‍යාව 7කි. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ කඩුලු 5ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දවාලූ 5 වැනි අවස්ථාවය.

අනතුරුව දෙවැනි ඉනිම ආරම්භ කළ අයර්ලන්ත පිලේ පළමු කඩුලු 5ම ලකුණු 40ක් ඇතුළත දවාගත් ශ්‍රී ලංකා පිල වේලාසනින්ම ජයග්‍රහණය අත්කර ගැනීමට අඩිතාලම දමාගත් අතර, පළමු ඉනිමේදී ප්‍රභාත් ජයසූරිය හමුවේ අසරණ වූ අයර්ලන්ත පිතිකරුවන්ට දෙවැනි ඉනිමේදී දැඩි පීඩනයක් එල්ල කළ රමේෂ් මෙන්ඩිස් මැද පෙළ කඩුලු 4ක් දවාලීමට සමත්වූයේ සිය ටෙස්ට් තරග දිවියේ කඩුලු 50 සම්පූර්ණ කරමිනි. එය ශ්‍රී ලංකා පන්දු යවන්නකුගේ වේගවත්ම කඩුලු 50 වාර්තාව සම කිරීමකි. රමේෂ් මේ කඩඉමට අවතීර්ණ වූයේ ඔහුගේ 11වැනි තරගයේදීය. ඊට පෙර ඩිල්රුවන් පෙරේරා කඩුලු 50 සම්පූර්ණ කරනු ලැබුවේද ඔහුගේ 11වැනි ටෙස්ට් තරගයේදීය.

කවදත් දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවට පත්වන ගාලු තණතීරුවේදී සිය ආධිපත්‍යය පතුරුවාලූ ප්‍රභාත් ජයසූරිය අයර්ලන්ත දෙවැනි ඉනිමේදිත් කඩුලු 3ක් උදුරා ගනිමින් තරගය පුරා කඩුලු 10ක් දවාලීමට සමත් වූයේ ඔහුගේ ටෙස්ට් තරග දිවියේ කඩුලු 10 සම්පූර්ණ කළ දෙවැනි අවස්ථාව වාර්තා කරමිනි. වමත් දඟ පන්දුවෙන් අයර්ලන්ත පිතිකරුවන් අන්දමන්ද කළ ප්‍රභාත් මේ වන විට ටෙස්ට් තරග 6කට ක්‍රීඩා කරමින් ඉනිම් 11කදී ලකුණු 923කට කඩුලු 43ක් දවාලීමට සමත්ව සිටී. තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමි විය.

දෙපිල අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන 24 වැනිදා ගාලු ක්‍රීඩාංගණයේදීම ආරම්භ වේ.

Exit mobile version