Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 7 සහල් වංචා කළ අනුරපුර සතොස තොග ගබඩා කළමනාකාරිනිය රිමාන්ඩ්

රු. 1,17,00,000 මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

රු. 1,17,00,000 මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

අනුරාධපුර සතොස තොග ගබඩාවේ තිබූ රුපියල් හයකෝටි අනූහත් ලක්ෂයක් පමණ වටිනා නාඩු සහ සම්බා සහල් විශාල තොගයක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දීර්ඝ මූලික විමර්ශනයකින් අනතුරුව රහස් පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අනුරාධපුර සතොස තොග ගබඩාවේ කළමනාකාරිනිය ලබන ජනවාරි මස 5 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කළේ මේ මහා පරිමාණ සහල් වංචාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින අනුරාධපුර සතොස තොග ගබඩාවේ කළමනාකාරිනිය වන හචිනි පවිත්‍රා මධුමාලි ගුණවර්ධන නමැති සැකකාරියයි. ඇය අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

මේ සැකකාරියට විදේශගත වීම වළකාලමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග දෙකක් නිකුත් කරනු ලැබ තිබිණි. ඇය රහස් පොලිසියේ අත්අඩංගුවට පත් වූයේ ඉන් අනතුරුවයි. මේ සහල් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංක 11 කොට්ඨාසය සිය මූලික කරුණු දැක්වීම්වලදී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මහජනයාට පරිභෝජනය සඳහා සහල් හිඟ වීම හේතුවෙන් ඉන්දියාවෙන් නාඩු සහ සම්බා සහල් ගෙන්වීමේ ව්‍යාපෘතියක් සඳහා වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ඇති රජයේ ආයතනයක් වන සීමා සහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව තෝරා ගෙන ඇති බවයි.

පසුව අදාළ සහල් ආනයනය කිරීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය මඟින් සතොස ආයතනයට දී ඇති බවද අධිකරණයට කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව අදාළ සහල් තොගය 2021 වසරේ ඔක්තෝබර් මස 29 වැනි දින සිට 2022 වසරේ ජූනි මස 23 වැනිදා අතර කාලය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවද කීවේය. එලෙස ගෙන්වන ලද සහල්වලින් නාඩු සහල් කිලෝ ලක්ෂ ගණනක් අනුරාධපුර සතොස තොග ගබඩාවට එවා එහි ගබඩා කර තිබියදී ඒවා වංචා කර ඇති බවද අධිකරණයට කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වංචා කර ඇති සහල්වල මුළු වටිනාකම රුපියල් හයකෝටි අනූහත් ලක්ෂ දෙදහස් පන්සීයක් පමණ වන බවද කීවේය. මේ මහා පරිමාණ සහල් වංචාවට අනුරාධපුර සතොස තොග ගබඩාවේ කළමනාකාරිනිය සම්බන්ධ බවට දැනට සිදු කරමින් පවතින මූලික විමර්ශනවලදී අනාවරණ වෙමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කළේ මේ මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරනා ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංක 11 කොට්ඨාසයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිරෝෂණී හේවාපතිරණ මහත්මියගේ මෙහෙයවීම මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි. පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පෙනී සිටියහ.

Exit mobile version