Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කිරිපිටි තොගයක් රේගුවෙන් නිදහස් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවෙන් නිවේදනයක් !

ආනයනය කළ කිරිපිටි තොගයක් රේගුවෙන් නිදහස් කිරීම ප්‍රමාද බවට ඇනෝඩ්ස් කොකෝවා පුද්ගලික සමාගමේ සභාපති ලක්ෂ්මන් වීරසූරිය මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඇනෝඩ්ස් කොකෝවා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් රේගුව ආරම්භ කර ඇති පරීක්ෂනවලට බලපෑම් කිරීමේ අරමුණෙන් වීරසූරිය මහතා මෙම ප්‍රකාශ සිදුකර ඇති බවටයි එම නිවේදනයේ සදහන් වන්නේ.

2022/06/05 වන දින මුදල් අමාත්‍යවරයා පළකළ විශේෂ ගැසට් පත්‍රයක් මගින් විදේශ විනිමය ගෙවීමේ පදනම මත ආනයන සිදුකිරීම තහනම් කර තිබුණා. පසුව එම මාසයේම 24වනදා පළකළ ගැසට් නිවේදනයක් මගින් දේශීය වෙළෙදපොලේ නොමැති අමුද්‍රව්‍ය 30%ක් විදේශ විනිමය ගෙවීමේ පදනම මත ආනයන කිරීමට අවසර ලබාදුන්නා. මෙම අනුමැතිය භාණ්ඩ ආනයනය කිරීමට පෙර ලබාගත යුතු බව රේගුව නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වනවා. එමෙන්ම ඇනෝඩ්ස් කොකෝවා පුද්ගලික සමාගම කළ ආනයනවල නීත්‍යනුකූලභාවය සොයා බැලීමට රේගුව පශ්චාත් නිෂ්කාශන විගනන විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එම විමර්ශනයේ කොටසක් ලෙස ඔවුන්ගේ ආනයන සදහා විදේශ විනිමය ගෙවීම් පිළිබද සොයා බැලීමට නියමිතයි. එමෙන්ම එම සමාගම ආනයනය කළ කිරිපිටි ලෙස රේගුවට ප්‍රකාශ කළ බහාලුම් 6ක් පසුගිය 14වනදා වැඩිදුර විමර්ශන සදහා රදවාගත් බවද එම නිවේදනයේ සදහන්. විවෘත ගිණුම් මගින් විදේශ විනිමය ගෙවීමේ පදනම මත විදේශ සැපයුම්කරු විසින් එම ආනයනය සපයා ඇති බව අදාළ සමාගම රේගුවට ප්‍රකාශකර තිබුණා. ඒ පිළිබද කළ විමර්ශනයේ දී ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් තහවුරු කර ඇත්තේ මෙය ආනයනයට අදාළ රෙගුලාසිවලට පටහැනිව සිදුවූවක් බවයි. ඒ අනුව මෙම ආනයනය සම්බන්ධයෙන් රේගු පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ පිළිබද සියලු තොරතුරු මාධ්‍යයට නිකුත් කරන බව ශ්‍රී ලංකා රේගුව නිවේදනයේ වැඩිදුරටත් සදහන්කර තිබෙනවා.

Exit mobile version