Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තමිල්නාඩු මුහුදු තීරයට ගන්ජා ගෝනි ගොඩ ගසයි

පසුගිය දින 15 තුළ තමිල්නාඩු වෙරළ තීරයට ගංජා ගෝනි කිලෝග්‍රෑම් 800 ක් පමණ ගොඩගැසීම හේතුවෙන් එහි නොසන්සුන්තාවයක් හට ගෙන ඇත.

ඒ අනුව පෝක් සමුද්‍ර සන්ධි මුහුදු ප්‍රදේශයේ ගංජා ගෝනි නැවත නැවතත් වෙරළට ගොඩ ගැසීම සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් සිදුකළ රහසිගත විමර්ශනයේදී, තමිල්නාඩු මුහුදු තීරයේ සිට ශ්‍රී ලංකාවට බෝට්ටුවෙන් ගංජා ප්‍රවාහනය කිරීමේ දී මුහුද මැදදී බෝට්ටුව ගිලීම හේතුවෙන් බෝට්ටුවේ තිබූ ගංජා ගෝනි මුහුදට වැටී වෙරළට ගොඩ ගසා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

පොලිස් විමර්ශන

බෝට්ටුවේ තිබූ ගංජා ගෝනි මුහුදට විසි වී වැටුණද බෝට්ටුවේ ගමන් කළ අය බෝට්ටුවත් බේරාගෙන එතැනින් පළා ගිය බව සොයාගෙන ඇත.

එලෙස පළා ගිය ජාවාරම්කරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරක් අනාවරණය නොවූ බැවින් තමිල්නාඩු පොලීසිය මේ සම්බන්ධයෙන් දැඩි විමර්ශන සිදු කරමින් පවතී.

ධීවරයින් අත්අඩංගුවට

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් දැනගැනීමට ලැබුණේ, ධනුෂ්කොඩි ආසන්නයේදී ඊයේ දින ගංජා කිලෝග්‍රෑම් 96 ක් වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්පත් කර ගෙන එය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාර දී ඇති බවයි.

එමෙන්ම මීට දින 10කට පෙර රාමේෂ්වර ප්‍රදේශයේ ධීවරයන්ගේ දැලට ගංජා කිලෝ 30ක් අසුවිය. එම ධීවරයින් විසින් එය පොලිසියට භාර නොදී ඔවුන් එය අලෙවි කිරීමට උත්සාහ කිරීමේදී එම ආරංචිය ලත් පොලීසිය ගංජා අලෙවි කිරීමට උත්සාහ කළ ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සතියේ ධනුෂ්කොඩි අසල තෙවැනි වැලි තටාකයේ මුර සංචාරයේ යෙදී සිටි වෙරළාරක්ෂක නිලධාරීන් විසින් එම වැලි තටාකයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 110ක් සොයා ගෙන ඇත.

තවද, මීට දින දෙකකට පෙර ධනුෂ්කොඩි ප්‍රදේශයට එහා පිහිටි අරිච්චල් මුනෙයි ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබූ ගංජා කිලෝග්‍රෑම් 80ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Exit mobile version