Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2020දී දරුවන්ගේ ඉගෙනුම් අහිමිවීම 54%ක්; 2021 අගෝස්තු වනවිට 88%ක්

දරුවන් 129,000 ක් ඉගෙනීමට සමුදීලා - ඩලස් අලහප්පෙරුම

දරුවන් 129,000 ක් ඉගෙනීමට සමුදීලා - ඩලස් අලහප්පෙරුම

ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉතා බැරෑරුම් හා සංකීර්ණ ක්‍රියාවලියකට අවතීර්ණ වීමට සිදුව ඇති බවත් 2021 අගෝස්තු වනවිට පමණක් දරුවන්ගේ ඉගෙනීම අහිමිවීම 88%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් රජයේ දත්ත අනාවරණය කරයි.

එය කොවිඩ් තත්ත්වයටත් බලපෑමක් ඇති කොට ඇතැයිද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්. රණසිංහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය කළේය. පැවැති කොවිඩ් තත්ත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් පිළිබඳ විමසා බැලීමට මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෝපා කමිටුව හමුවට අධ්‍යාපන බලධාරීන් කැඳවූ අවස්ථාවේදී අධ්‍යාපන ලේකම්වරයා මේ බව පැවසීය. ඊට අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතනවල නිලධාරීන් මෙම විශේෂ රැස්වීමට කැඳවා තිබිණි.

නියමිත දින ගණන පාසල් පැවැත්වීමට නොහැකිවීම නිසා පවතින සීමිත කාලසීමාව තුළ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකිවීම, පවතින ඉන්ධන හිඟය, දරුවන්ගේ පවුලේ ආර්ථික අපහසුතා, මවුපියන්ට රැකියා අහිමිවීම ආදිය බරපතළ ගැටලුවක් වෙමින් පවතින බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් කළද ග්‍රාමීය වශයෙන් විවිධ දුෂ්කරතා පවතින බවත් ඉගෙනුම් ක්‍රියාවලියේදී මාර්ගගත ක්‍රමය දීර්ඝකාලීනව කිරීම සිසු දරු දැරියන් සඳහා සාර්ථක ක්‍රමයක් නොවන බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.

උද්ගතව ඇති ආර්ථික අර්බුදකාරී තත්ත්වය තුළ අධ්‍යාපන අමාත්‍යංශයට මීට පෙර වෙන් වූ වැය ශීර්ෂයන්ට අයත් මුදල් ප්‍රමාණවත් නොවීම තවත් ප්‍රධාන ගැටලුවක් බවත් රජයේ මුදල් ප්‍රභවයන්ට පරිබාහිරව වෙනත් ආයතනවලින් ලැබීමට ඇති UNICEF, ADB, ලෝක බැංකුව වැනි ව්‍යාපෘතිවල මුදල් ප්‍රතිව්‍යුහගත කර ප්‍රමුඛතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා යෙදවීමට කටයුතු කරන බවත් මෙහිදී ලේකම්වරයා පැවසීය.

සීමිත කාලයක පාසල් පැවැත්වීම නිසා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකි තත්ත්වයක විභාගයට අදාළ කරගන්නා විෂය නිර්දේශයේ වපසරිය සීමා කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද කමිටුවේ විශේෂ අවධානය යොමු වූ අතර එසේ නොවන විට දරුවන් මෙන්ම ගුරුවරුන්ද දැඩි පීඩනයකට ලක්වන බව කමිටුව පෙන්වා දුන්නේය.

2020 වසරේදී සිසු දරුවන්ගේ ඉගෙනුම් අහිමිවීම 54%ක් ලෙස සහ 2021 අගෝස්තු වනවිට 88%ක් ලෙස ගණන් බලා ඇති බවද මෙහිදී අනාවරණය විය. මෙවැනි තත්ත්වයක් තුළ විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග පැවැත්වීමේදී අදාළ ඉගෙනුම් අහිමිවීම පිළිබඳ සලකා බලා දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්න පත්‍ර සැකසීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය. ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යංශය හා විභාග දෙපාර්තමේන්තුව මනා සම්බන්ධීකරණයෙන් මේ සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ක්‍රියාත්මක කරන ලෙස කමිටුව මෙහිදී නිර්දේශ කළේය.

එසේම පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ළඟම පාසලට දරුවන් තාවකාලිකව අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් එය මෙම වසරේ දෙසැම්බර් 31දා දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අනාවරණය විය.

Exit mobile version