Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ජනපති සහ අගමැති හමුවෙයි

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ජනපති සහ අගමැති හමුවෙයි

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ජනපති සහ අගමැති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වූවාය.

ඇය මෙසේ පොරොන්දු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී 20 පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය. ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින්නීය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමටත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමටත් සහාය වන බව ඇය සඳහන් කළාය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනීල් මහත්මිය සමග ජූනි 20 අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ. ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහයට ඔස්ට්‍රේලියාව අඛණ්ඩව සහය ලබා දෙන බව එහිදී ඔස්ට්‍රේලියානු අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.

එහිදී විදේශයන්හි ආයෝජන සඳහා විවෘත වන අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් සංවර්ධනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කර තිබේ. ඔස්ට්‍රේලියානු සංචාරක ව්‍යාපාරය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ගෙන යාමට හා ශ්‍රී ලංකාව තුළ ඔස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කිරීමට උනන්දු වන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර ඇත.

තම රජය ක්‍රියාත්මක කිරීමට නියමිත නැව් මාර්ග සංවර්ධනය කිරීම පිළිබඳව පැහැදිළි කර ඇති අමාත්‍යවරිය, සමුද්‍ර ආරක්ෂාව සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් තම පරිපාලනයේ ප්‍රතිපත්තිය පැහැදිලි කර තිබේ. මිනිස් ජාවාරම් නැවැත්වීමට ශ්‍රී ලංකා රජය සහ එහි ආරක්ෂක අංශ කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇත. රේගු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සහ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට සුදානම් බව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50ක සංවර්ධන ආධාර පැකේජයක් ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එහිදී ඔස්ට්‍රේලියානු රජයට සිය ස්තූතියද පුද කර ඇත.

Exit mobile version