Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත පාඨලී කියයි

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත පාඨලී කියයි

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත පාඨලී කියයි

රටේ පවතින විදුලි අර්බුදය සහ බලශක්ති අර්බුදය පිළිබඳ (10)දා පාර්ලිමේන්තුවේ පැවති සභා කල් තැබීමේ විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙසේ පැවසීය.

“අද මේ පවතින අර්බුදය ගැන නොයෙක් දෙනා නොයෙක් කතා කියනවා. කුමන්ත්‍රණය ගැන කියනවා, කඩාකප්පල්කාරී වැඩ කියනවා. මෙහි ඇති ගැඹුරු අර්බුදය වටහා ගන්නේ නැතුව තමයි මේ කතා කරන්නේ. ඊයේ රොයිටර් පුවත් සේවය වාර්තා කළා. ශ්‍රී ලංකාවට පසුගිය මාර්තු මාසයේ 04වැනිදා ඉන්දියාවට ගෙවීමට ඩොලර් මිලියන 500ක් තිබුණා.

ඒක ගෙවන්න තිබුණේ ජනවාරි 04 වැනිදා. ඒක මාර්තු හතරට කල් දැම්මා. ඒ අනුව මාර්තු 04වැනිදා වනවිට තවත් මුදල් එකතු වෙලා ඒක ඩොලර් 900ක් වුණා. ඒ ඩොලර් මිලියන 900 ගෙවන්න මහ බැංකුවට හැකියාවක් තිබුණේ නෑ. ඒ ඩොලර් මිලියන 900 ගෙවා නම් 04වැනිදා බංකොලොත් වෙනවා. ඒකට ඉන්දියාව උදවු කරලා තවත් මාස 02න් මේක කල් දාලා දුන්නා. ඒ කියන්නේ බංකොලොත්භාවය ඇරියස් කරලා තිබෙනවා. ඒකයි රටේ ඇත්ත අර්බුදය. කුමන්ත්‍රණය ඒකයි. ඒ නිසා කුමන්ත්‍රණය ගැන බලාගන්න ඕන නම් රාජපක්‍ෂ පවුලට කණාඩිය ඉස්සරහට ගියාම කුමන්ත්‍රණය මොකක්ද කියලා තේරෙයි. ඒ වගේම මේ රීලෝඩ් ආර්ථිකය කර ගෙන යන අතරේ අද බනිජතෙල් නීතිගත සංස්ථාව සතුව තිබෙන්නේ, ඩීසල් මෙට්‍රික් ටොන් 6,000යි. දිනකට භාවිත වන ප්‍රවාහනයට පමණක් මෙට්‍රික් ටොන් 5,500යි. ලංකා විදුලිබල මණ්ඩලයත් ඩීසලින් දුවනවා නම් තව 4,000ක් ඕන. මේ වගේ තත්වයක රට තිබෙන්නේ.

ඒ වගේම දැන් ඩීසල් නැවක් ඇවිත් තිබෙනවා. මේ ඩීසල් මෙට්‍රික් ටොන් 37,000 ඇත්ත ගාන ඩොලර් මිලියන 35යි. මේකට අද ගෙවන්න වෙලා තිබෙනවා ඩොලර් මිලියන 52ක්. වෙන අර්ථයකින් කිව්වොත් සෑම ඩීසල් ලීටරයකටම මේ ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ වැරදි නිසා ඒ ආපු ඩීසල් නැවට ලීටරකට තවත් රුපියල් 60ට වැඩිය ගෙවන්න වෙනවා. සෙල්ලම මේ විදියට ගෙනියන්න බැහැ. ලංකා විදුලිබල මණ්ඩලයේ තත්වය මොකක්ද? විදුලිය කප්පාදු කරන්නේ ඉන්ධන නැති නිසා.

එහෙම නැතිව කුමන්ත්‍රණ නිසා නෙවෙයි. ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන බලාගාරයක් පුත්තලම ගල්අඟුරු බලාගාරය. මේ යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කරනවා නම් දවසකට ගල්අඟුරු මෙට්‍රික් ටොන් 7,500 – 8,000ක් ඕන. අද නොරොච්චෝල්ලේ. තිබෙන සංචිත ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ, ජුනි මාසය දක්වා මේ බලාගාරය ගෙනියන්න පමණයි. නමුත් අපි දන්නවා වාරකන් කාලය නිසා ඔක්තෝබර් වෙනකන් ගල්අඟුරු ගොඩබාන බෑ. එහෙම නම් ගල්අඟුරු වහාම ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව තියෙනවා. නමුත් ගල්අඟුරු ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව දැන් ආණ්ඩුවට ඉෂ්ට කර ගන්න ඩොලර් නැහැ. විදුලිය සපයන්නේ නැති අවස්ථාවල විදුලිබල මණ්ඩලයට ඉතුරු වෙන මුදල වගේ දසගුණයක් රටේ ආර්ථිකයට පාඩු වෙනවා.

ඒක තමයි විදුලිබල කප්පාදුවේ ඉතිහාසයේ තිබෙන ගණිත න්‍යාය.

දැන් යෝජනා කරන්න යනවා 50%ට වඩා කරන්න. ඒ කියන්නේ රුපියල් 16.74ට තිබෙන සාමාන්‍ය මිල වැඩි කරන්න. ඒ වගේම මම ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන් ඒකක 60ට වඩා අඩුවෙන් විදුලිය පාවිච්චි කරන අහිංසක ජනතාවගේ විදුලි බිල වැඩි කිරීමේ අයිතියක් ඔබට නෑ. ඒ වගේම මහ බැංකුව යෝජනා කරනවා තෙල් මිල ඉහළ දාන්න”

Exit mobile version